වැවක් පුරා එක සීරුවට සුදු නෙළුම් පිපුණැයි මට හිතුණා
එදා නුඹ ඇහැ ගැහුණු දොහේ
අමාවක දා හඳ පායාලයි එදා මට හිතුණා.
(චන්ද්‍රිකා සිරිවර්ධන - එඩ්වඩ් ජයකොඩි)
කොහේදෝ ගුවන් විදුලියකින් නැඟුනු හඬ මාව අතීතයේ අතරමං කළා වගෙයි මට දැනුනෙ. ඒ මට ඈ මුණගැහුණු මුල්ම දවස්.
මොකක්දෝ අමුතුම හැඟීමක් හිතට ඇතුල්වුනේ ඇයි? දැන් අපි වෙනස් වෙලා හින්දද? නෑ නෑ අපේ ආදරය තවමත් එහෙමමයි නේද? ඇත්තටම එහෙමද? මං ඈ ගැන හිතනව මදි නේද?
............
ඈ පුරුදු ජීවිතයට ආයුබෝවන් කියල මං එක්ක ජීවත් වෙන්න ගත්ත මුල්ම දවස්.
ඒ කාලෙ ඈ මොන තරම් පාළුවෙන් ඉන්න ඇත්ද? මා ඈ හමුවනතුරුත්, ඈ මා එනතුරුත් පෙරුම් පුරපු හැටි මට මතක් උනා.
සඳ එළිය ගලයි - සයුර දිගේ - ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ - සිතිජ ඉමේ - හිතට දුක දැනේ
මඳ පවන නිසල වී - රළ පෙළට තුරුළු වී
වැහි ළිහිණි රෑන් පමණි - මගේ දුකට හඬන්නේ
ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුළු සිරුර ගිනි ගනී//
රළ නඟන අඳෝනා - හද බිඳෙන වේදනා
පාළු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ
සඳ එළිය ගලයි.....
දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොළඟම නැඟි නැඟී//
දුර ඇදෙන ඔරු බඳේ - පිණි කඳුළු බිඳු රැඳේ
මාගෙ හදවතේ දුක ඔබ පමණි නිවන්නේ
සඳ එළිය ගලයි.....
(සමිතා මුදුන්කොටුව - වික්ටර් රත්නායක, වික්ටර් රත්නායක)
අහන්න
...........
පුංචි පුංචි අඩ දබර වලදි මං කතා කරපු හැටි වැරදියි නේද? ඈ නැතුව මං කොහොමද ඉන්නෙ? මං නැතුව ඈ කොහොමද ඉන්නෙ?.......
කළේ පැන් ඇත - නැවුම් රහ නැත - මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කරවී - මොකද මන්දා ළිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත - මොකද මන්දා දිවට වූයේ
සැලේ ගහකොළ සුළඟ ඇත එද - සිහිල කොයි අත ගියාදෝ
කෝළ බව මුසු සිනා හඬ නැත - සවන් බිහිරිව ගියාදෝ
කළේ පැන් ඇත....
පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑගම් ගොහින් ///
(සුනිල් එදිරිසිංහ/කේ. ඩී. කේ. ධර්මවර්ධන/රෝහණ වීරසිංහ)
අහන්න
..........
අපේ ජීවිත වලට වසන්තය උදා කරපු අපේ පුංචි පැටවු ටික....
උං මං එනකන් බලා ඉන්න හැටි, පෙරළි කරනකොට ඈ අමාරුවෙන් ඔවුන් පරක් කරන හැටි මට මතක් වුණේ උගුරෙ මොනවාදෝ හිර වෙද්දි.
රුක් අත්තන මල මුදුනේ
බමරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් - කවුරුද එන්නේ
මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා - පියමං කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ
රුක් අත්තන මල මුදුනේ.....
පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මියයන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් - කවුරුද එන්නේ
රුක් අත්තන මල මුදුනේ.....
(නන්දා මාලනී/මහින්ද අල්ගම/නන්දා මාලනී)
අහන්න
ඈ එහෙම කියා දෙන්න ඇති.
පැටවුන්ට ගුරු හරුකම් දුන්නෙ මම නොවෙයිනෙ.....
..............
පොඩිඋං විතරද? මං ගැනත් හැමදේම හොයා බැලුවෙ ඈ නේද කිසිම කෙඳිරිල්ලක් වත් නොනඟා???? ඈ මේ සියළුම දේවල් කළේ කොහොමද දෙයියනේ?
ඇයි මට නොපෙනුණේ......????
මං මහ නරුමයෙක්, ගුණමකුවෙක්....
අතින'ත ගත් දා ඉඳලා
තම හිමිට සරණ - දූ පුතුන් සරණ කළ
බිරින්දෑවරුන් සංසාරේ
බුදුවරු වෙන්නද පෙරුම් පුරන්නේ//
බිරින්දෑවරුන් සංසාරේ //
කරදර ලිප ලා - උයා පිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා
අතින'ත ගත් දා ඉඳලා....
කඳුළැලි වියලා - හදතුළ සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුණ පමණක් මොලවනවා
අතින'ත ගත් දා ඉඳලා....
(සේනානායක වේරලියද්ද/මහින්ද කේ. ප්‍රේමසිරි/සේනානායක වේරලියද්ද)
අහන්න
...............
ඈ නොහිටින්න මං තනියම මොනව කරාවිද?
හැමදේකටම දිරිය ශක්තිය උනු ඈ........
සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ
කරදර බාධක මඟ අහුරන දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ
බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මං සල්වල විඩා නිවා
ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ.....
(එඩ්වඩ් ජයකොඩි /තිස්සසිරි පෙරේරා/පී. බී. කවිරත්න)
අහන්න
..............
සොඳුර, මෙතුවක් කල් ඔබ ගැන නොසිතුවාට මට සිය දහස් වාරයක් සමාවෙන්න.
මගේ මුළු ලෝකයම එළිය වූයේ ඔබගෙනි......
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින//
මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
නුඹ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්
උතුරයි ම'සිත තව නුඹ වෙත තුරුළු වෙමින්
බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ
(අමරදේව/සුනිල් ආරියරත්න/රෝහණ වීරසිංහ )
අහන්න
---***---
************************************
හඬන පොඩි පුතු නළව ගන්නට නිදන මට රහසින්
*************************************
**************************************
ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින්
වහා දස අත සුවඳ පිරුණා ඔබේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැඟු රළු පරළු හඬ අතරින්
ඔබේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්
මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්///
(සුනිල් එදිරිසිංහ)
මේක ලියන්න හිතුනෙ මං ළඟ තිබුණ පරණ කැසට්1ක් මතක් වෙලා. මං පුංචි කාලෙ ආසම සින්දු එකතු කරල කාණ්ඩ වලට බෙදල කැසට් වෙන වෙනම තියල තිබුණ. ජීවිතේටම දෙපාරක් විතරක් අහපු සින්දුවක් මතක් උනා ඒ එක්කම. මේක මම එදා ඉඳලම හොයන එකක්. ඒත් හම්බ උනේ නෑ. රේඩියෝ එකේ තමා දෙපාරම ගියෙ. දෙපාරම සංගීතය ඇහෙද්දිම දුවල ගිහිං පොතයි පෑනයි ගෙනාවත් ඒ වෙනකොට මුල් පද කීපය ඉවරවෙලා. ඒ නිසා මුල් පද 3ක් මට අමතකයි. ඒත් අනිත් ටික මතක විදිහට අකුරු කළා. ඔය අන්තිමට දාල තියෙන්නෙ ඒක තමා.
අනේ කවුරුහරි පිංවතෙක් ඉන්නව නම් මට මේක හොයා ගන්න උදව් කරන්න.
මේ එකම එක සින්දුවක් ගැනවත් මම මුකුත්ම කියන්නෙ නෑ. ඒක ඔයාලම අහල විඳගන්න.
මට වඩා ඉතාමත් හොඳට, මට පේනවට වඩා දහසක් දේ මේ සින්දු කියාවි.