Wednesday, June 16

හිත හදාගත්තා විතරමයි - ඔබ ආයෙමත් ඇවිදින්!!!!!

විරහව...
පහුගිය දවස් ටිකේම විරහව ගැන ලියවුණු දෑ බොහෝයි.
මගේ සඳ
අතීතයෙන් අහුලන මතකයන්
සොඳුරු සිත
ආදරය විරහව සහ කඳුළ....
සහෘදයා
ඒවා අතරින් කීපයක්.
කාලෙකට කලින් මගෙ අතින් ලියවුණු කවියක් සහ අමරසිරි පීරිස් මහත්මයගෙ ගීතයක් මතකයට ආවෙ මේක කියවද්දි.  

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්!

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්?
නුඹ නොදැක සිටි දිගු කාලයේ,
හිත හදාගත්තා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!

දෑස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්වත් සුවඳ නැතිවිය ඔබ තරම්!
නුඹ නොදැක සිටි ඒ කාලයේ,
නෙත කඳුළු මැකුනා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!

ඔබ ආයෙමත් ඇවිදින්....

ඔය ගීතය අහන්න කළිං මගෙ අතින් ලියවුණා මෙන්න මේ කවිය. ගෙඩි පිටින්ම මගේ අත්දැකීමක්.
 
පිටමං කරනට ඔබ රුව මනසින්
අනන්ත වූ දුක් වින්දා රහසින්
ආයෙම ඇවිදින් පෙරදා විලසින්
එපා එබෙන්නට මා සිත් අහසින්

මේ සිතිවිල්ල අපි හැමෝටම පොදුයි. ඒත් මේ බොහොම වැරදි, බොහොම භයානක සිතිවිල්ලක්. දුක ඇතිවෙන්නෙ අපේ හිතේ නේද? එහෙනම් ඇයි අපි වෙනත් කෙනෙකුට දෝශාරෝපණය කරන්නෙ? දුක හිතෙන් තුනී කරන්න කියල, දෙන්න මුණ ගැහෙන අවස්ථා මඟ හරින්න උත්සාහ ගන්නෙ? කාලයක් මුණ නොගැහි හිටියම දුක තුනී වෙනවා. හරි. ඒත් ඔය කලින් කියන්නා වගේ හදිසියෙම හම්බ උනොත් මොකෑ වෙන්නෙ? කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු! ඉවරයි නේද හිතේ තිබ්බ සංහිඳියාව?
තමන් ඇති කරගත්ත දුක නැති කරගතයුතුත් තමාමයි. අපි මෙහෙම හිතමු.
(මං මේ පෙන්නන්න යන්නෙ දිශාවක්. මගේ ඇඟිල්ල දිහා බලන්නෙ නැතිව ඔයාල මං පෙන්නන දිශාව දිහා බලාවි කියල මං විශ්වාස කරනව.)
තාපසයෙක් ඉදිරියට  බොහොම රූමත්, අඩ නිරුවත් කාන්තාවක් ඇවිල්ල අනඟ රැඟුමක් දානව කියල හිතමු. තාපසයට ශෘංගාරාත්මක හැඟීමක් පහල වුණා කියලත් හිතමු. දැන් තාපසයට ඕනෙ කරන්නෙ මෙවන් හැඟීම ඇතිවෙන එක වළක්වාගන්න. ක්‍රම දෙකක් තියෙනව.
ලේසිම වැඩේ ඇස් දෙක වහගන්න එක. එතකොට පේන්නෙ නෑ. හරි තාවකාලිකව වැඩේ ගොඩ. හැබැයි ආයෙ ඇස් ඇරපු ගමන් ඉතින් බඩුම තමයි.
දෙවෙනි එක අමාරු ක්‍රමය. ඇස් ඇරගෙන ඇය දිහා බලාගෙන ශෘංගාරය ඇති වෙන්නට ඉඩ නොදී සිටීම. පට්ට අමාරු වැඩක් වුනත් හරියට කරගත්තොත් කිරි ගහට පිහියෙන් ඇන්න වගේ නේද?

අපි හැමෝම අර කළින් කියපු අවස්ථාවෙදි කරන්න උත්සාහ කරන්නෙ ටික කලකට ඇය හෝ ඔහු අමතක කිරීම උනත්, හිතේ යට ඒක තැන්පත් වෙලා තිබිල නැවත සම්බන්ධයක් ඇතිවුණ ගමන් 'වතුරෙ ගිල්වපු රබර් බෝලෙ' වගේ ආයෙ මතුවෙනවා. ඒක දරා ගන්න එක හරි අමාරුයි. ඒත් අපි පුළුවන් තරම එයා හමුවෙලා, නියුට්‍රල් එකේ එයත් එක්ක කතා බහ කරන්න, හැසිරෙන්න උත්සාහ කළොත්?  .............
මේ මම කිව්වෙ මගේ තියරිය. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අදටත් ඔහුව මුණ ගැහුණාම මටත්, මාව මුණ ගැහුණාම ඔහුටත්, ඉස්සර වගේම කට පිරෙන්න, හදවතින්ම හිනා වෙලා, සුහදව කතා කරන්න හැකියාව තියෙන්නෙ අපි දෙන්නම ඔය විදියට හිතපු හින්දා වෙන්ටැ කියලයි මම නම් හිතන්නෙ.
 
මම පොර සේ මේ ක්‍රමය කිව්වට මේක බුදු හාමුදුරුවො දේශනා කරපු උපාදානය අත හැරීමම තමයි.
....තණ්හා <-> උපාදාන <-> භව ....

අපිට හැමදේටම මේක යොදන්න පුළුවං නම් කොච්චර හොඳද?

6 comments:

  1. සහොදරී ඉදිරිපත් කරන theory ය එක්ක සම්පූණයෙන්ම එකඟයි. යමක් මග හෑර ඉන්නවා කියන්නේ යමක් නෑ කියන එක නෙවෙයි. තියෙන බව දෑන දෑනම මුහුන නොදී මග හරින්නෙ මුහුන දෙන්න ශක්තිය නෑති නිසා. නෑත්නම් ඒකට ඈති බය නිසා. නමුත් කවදා හරි මුහුන දෙන්න වුනුදාට එතෙක් කල්දමා හිටි සියල්ල මතු වෙනවා.

    මගෙ සමහර ශිෂ‍යින් 'මට අසවල් දේ අමතක කරන්න ඔන. ඒත් ඒක අමතක කරන්නම බෑ' කියාගෙන එන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට මම කියන්නේ ඔයා ඒක අමතක කරන්න හදන එක නවත්තන්න කියායි. මුලින් ඔවුන් පුදුමය පල කළත් පසුව ඔවුන් ඒ උපදේශයෙන් ප්‍රතිපල ලෑබුණු බව කියා තිබෙනවා. අමතක කරන්න හදනවා කියන්නේ එයට මුහුන නොදී ඉන්න හදනවා කියන එකයි. මතකයට එන්න ඉඩ දෙනවා කියන්නෙ එය සාමාන‍ය වෙන්න ඉඩ දෙනවා කියන එකයි. 'ඔබේ theory ය...:)'

    සහොදරීගේ ලිපිය කියෙව්වාම තව ගොඩක් දේ හිතට ආවා. එයින් එකක් විතරයි මේ..

    ඔබ කියා ඈති තාපසය සම්බන්ධ උදාහරණයේ ඈයි තාපසයට අඩනිරුවත් කාන්තාව අභියොගයක් වෙන්නේ? මේ ගෑන කියෙවෙන බුදුහාමුදුරුවන්ගේ ඉගෑන්වීම මම මෙතන ලියනවා. (ඒක වෑදගත් එකක් සේ පෙනුණු නිසා පාලියෙන්ම ලියාගෙන තිබුණා මම ගාව)

    "නතෙ විජ්ජන්ති කාම රූපනි ලොකෙ...
    (මේ ලොකයේ කාමය උපදවන රූප කියා කිසිවක් නෑත) එ කියන්නේ ඔබේ කතාවේ ඉන්න කාන්තාවගේ අඩ නිරුවත කියන්නේ කාමය ඈතිකරන යමක් නොවේ.

    සංකප්ප රාගො පුරිසස්ස කාමො"
    (බලන පුද්ගලයාගේ සිතේයි කාමය ඈත්තේ)ඒ කියන්නේ ප්‍රශ්නය තියෙන්නෙ තාපසය ළඟ.. :)

    අලුත් උත්සාහයක් තියෙනවානේ ප්‍රසිද්ධියෙ සිප වෑලඳ ගෑනීම තහනම් කරන එවනි දර්ශන සහිත බොඩ් ඉවත් කරන. ඒ මේවා දෑක්කම හෑඟීම් ඈවිස්සෙනවා කියල. එයින් කියන්නේ ඈත්තටම අපි ගොඩාක් වල්. ඒ නිසා ඒව බලන්න බෑ. බෑලුවම අපි ඈවිස්සෙනව කියන එකයි..:). නමුත් හෑකි තරම් ඒවා හන්ගලා තියනවා කියන්නේ සමාජය හොඳයි කයන එකද?

    //අපිට හැමදේටම මේක යොදන්න පුළුවං නම් කොච්චර හොඳද?//

    ඔබේ theory ය ආයෙත්..
    ඒවා සාමාන‍ය දෙවල් වෙන්න ඉඩ දුන්නොත්..


    ඔයාගේ ලිපි මම ආසාවෙන් කියවනවා. ඒවා ගොඩාක් වෑදගත්.. :)

    ReplyDelete
  2. පිටස්තරයා-2,
    හෙහ් හෙහ්... ඒක 'මගේ තියරිය' කියන එක සම්පූර්ණයෙන්ම වැරදියිනෙ. නිවැරදි කිරීම :'මම අනුගමනය කරන තියරිය'.

    ඔබ හරියටම හරි විදියට ලස්සනට කියල තියෙනවා.

    ඔතන 'තාපසය' කියල ලියනකොටම මට තේරුණා උපමා කතාව අවුල් කියල. ඒකමයි වරහන් ඇතුළෙ දිශාව බලන්න කියල දැම්මෙ. මොකද ඊට වඩා හොඳ කතාවක් ගොතා ගන්න බැරි වුණා.

    ඔබ මතු කරපු කාරණාව හරිම වැදගත්.
    සළායතන - ඵස්ස - වේදනා - තණ්හා
    අපි ග්‍රහණය කරන ආකාරයෙන් මිස ඒ වස්තු බීජයෙන් නෙවිනෙ කාම රාගය උපදින්නෙ.
    ඒත් ඉතින් අපේ ඇත්තො තේරුම් ගන්න උත්සාහයක්වත් නැහැනෙ.

    ලියාගෙන යද්දි මටත් ඔය කතාවයි දහම් පාසල් නියෝගයයි මතක් නොවුණාම නොවේ. පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවාට අපි මොනවා නම් කරන්නද?

    ReplyDelete
  3. අක්කෙ ඔන්න මගෙ ක්‍රමෙ. ඔයා ඔය කිව්ව දෙ මම ප්‍රායොගිකව මගෙන්ම අත්හදා බලලා තියනවා, මම නම් කියන්නෙ මිනිස්සුන්ට අවශ්‍යතාවය තියනවා නම්, කැපවිමක් තියනවා නම් ඔනැම දෙයක් කරහැකියි කියලා මනුෂය සිමාව තුල ඉදන්. අපිට නොලැබුන දෙවල් ගැන හිත හිත දුක් විදින්න ඔනා නැහැ.. මම මෙ පිරිස අතරෙත් මම වගෙ දුක විදින අය ලඟට ගිහින් කියන්නෙ මෙ ටිකම තමයි.

    අපෙ මනසෙ ආශාවන්, තරහාවන්, අන්දකාරයන් යම් යම් සිමාවන් තුල තියෙනවා, අපිට ගැටෙන දෙවල් වලත් සීමාවන් තිබෙනවා. මෙ සීමාවන් අතර වෙනස ලොකුවෙන තරමට අපිට දැනෙන ආවෙග වල තීව්‍රතාවය වැඩි.. උදාහරනයක්.. අපි හිතමු මම විභාගෙ සාමාන්‍ය ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙද්දි මට විශිෂ්ඨ ප්‍රතිපලයක් හම්බ වෙනවා කියලා, එතනදි මම ගොඩාක් සතුටු වෙනවා. නමුත් එ වගෙම මම කෙනෙකුගෙන් විශාල දෙයක් බලාපොරොත්තු වෙද්දි එයා මම බලාපොරොත්තු වෙන සිමාවට නොදුන්නත් මට දුකක්, එක නොදීම හිටියොත් එක විශාල දුකක්.

    මෙතනදි අපිට හොදම වැඩෙ අපි අපෙ හිතෙ සීමාවන් සීරු මාරු කිරිමට උත්සහා කිරිම විනා අනවශ්‍ය වෙහෙසක් , සතුටක සිත ගිල්වා තබා ගැනිම නොවෙයි.

    භාහිරින් ගැටෙන සිදුවිම් වල සීමාවත් , අභ්‍යන්තරිකව බලාපොරොත්තුවෙන සීමාවත් අතර වෙනස අවම කරගැනිමට සිතින් විර්ය කිරිම.. බොහොම සැනසිලිදායක.. සන්සුන්.. රිද්මයානුකූල.. නිරොගි ජිවිතයක ආරම්බය බව මගෙ මතය. මම එහෙම කියන්නෙ මගෙන්ම අත්හදා බලලා..

    හැබැයි අක්කෙ මෙහෙම දෙයක් මම දකිනවා, මනසක තිබෙන අසහනය, වැඩිවෙන්න වැඩිවෙන්න... ප්‍රතිභාව එලියට එනවා, අද ලොකයෙ බොහො නිර්මාණ, තාක්ෂනික හො කලාත්මක විශිෂ්ඨ ගණයට වැටෙන එවා බොහොමයක් නිර්මාණය වෙලා තියන්නෙ.. මානසිකව ගොඩක් අසහනකාරිව දිවි ගෙවපු මිනිසුන්ගෙ සිත්වල නෙද..

    ReplyDelete
  4. රවා,
    සතුටුයි මල්ලි ඔයා ගැන.

    මනසට සීමා මායිම් දමා ගන්නෙ තමාමයි. ලද දෙයින් සතුටු වීම පුරුදු උනොත්, සරල සහ අල්පේච්ඡ බවට හිත යොමු කළොත් ඔය කියන දුකත් අඩු කරගන්න පුළුවනි.

    "මනසක තිබෙන අසහනය, වැඩිවෙන්න වැඩිවෙන්න... ප්‍රතිභාව එලියට එනවා"
    මේකට නම් මම එකඟ වෙන්නෑ. මම විශ්වාස කරන්නෙ කලා කරුවා අතින් විශිෂ්ට නිර්මාණ බිහිවෙන්නෙ සංසුන් මනසක් තිබියදී.. ගොඩක් වෙලාවට ජීවිතය නියමා කාරයෙන් දුටු මිනිසුන් අතින් තමයි විශිෂ්ට ගණයේ නිර්මාණ බිහිවෙලා තියෙන්නෙ. සෑම අත්දැකීමක්ම තමන්ම විඳින්න ඕනෙ නෑ නිර්මාණයක් බිහි කරන්න. අනුන්ගෙ දෙයක් පවා තමන්ගෙ කරගෙන, තමන් දුටු දෑ හරවත් ආකාරයට ඉදිරිපත් කළහැකි වීමයි මම දකින කලා කරුවාගෙ විශිෂ්ටත්වය. මම දකින්නෙ එවන් අයෙක් තුළින් බොහොම පුළුල්, විවෘත චින්තන රටාවක් සහ නිරවුල් මනසක් මිස අසහනයෙන් පෙළෙන මනසක් නොවෙයි.කලා කෘතිය නිර්මාණය වෙද්දි මානසික ඒකාග්‍රතාවය තියෙන්න එපැයි!

    දැන් ඔය විරහ කතාව ගත්තොත් එවැනි ප්‍රස්තුතයන්ගෙනුත් හොඳ නිර්මාණ බිහිවෙනව. වස්තු බීජය මොකක් උනත් ජීවිතයට විනාශයක් නොවන, වැදගත් සහ හරවත් ආකාරයේ නිර්මාණයක් බිහිවෙනවටයි මගේ නම් වැඩි කැමැත්ත.

    'කලාකරුවා සහ ඔහුගේ කාර්යභාරය' ජනප්‍රිය මාතෘකාවක්නෙ. ඒ ගැන හොඳ විවරණයක් දෙන, හිතන්න දේවල් බොහොමයක් ඉතිරි කරන ගීතයක පද පෙළ මේ.

    මේ තරම් සියුමැලිද කළුගල් - හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා

    කලා වැව ළඟ - ඉලුක් හෙවණක - මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු - මැරෙන ඉපදෙන රළ දිහා

    ඉසුරුමුණියේ නුඹ තැනූ - පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු - තවම තනිකඩයැයි කියා.

    "රිදුම් පිරිමදිමින් බලයි ඔහු - මැරෙන ඉපදෙන රළ දිහා"
    පුදුම ගැඹුරක්! කලාකරුවෙක් වෙනව නම් අන්න ජීවිත!

    ReplyDelete
  5. නංගී, මා ඉතා අගේ කරනවා ඔබේ ලිපිය.

    තොරතුරු තාක්ෂණ (IT) දියුණුව හා සිංහල යුනිඛේත දියුණුව සමඟ අත්වැල් බැඳගත් බ්ලොග් කලාවෙන් අපේ සාහිත්‍යයට කිසියම් යහපතක් සිදුවුණා. එවගේම බ්ලොග් නිර්මාණ වලින් ඉදිරිපත් කෙරෙන අදහස් නිර්මාණත්මක වෙනවාට වඩා අත්දැකීම් මූලික වුනාම විරහ වේදනා, පරාජය, බලාපොරොත්තු සුන්වීම ආදී අදහස් පාඨක සිත්වලට එන්නත් වෙන්නේ සෘණාත්මක ආරෝපනයක් එක්ක. ඉන් දෙදරුම් ඉර (crack) පුලුල් කර ඇලක් දොලක් තැනෙනවා හැර සමනය කිරීමක් (cooling)වගේ දෙයකට දෙන අනුබලය අඩුයි.

    අපි බ්ලොග් මාධ්‍යය උසස් චින්තනය නංවාලීම උදෙසා යොදා ගන්නවා නම් දැනට වඩා සේවයක් සලසන්න පුලුවනි.

    ඒ සඳහා වෙහෙසෙන ඔය තරුකැටය ගැන මගේ ඇත්තේ ලොකු ගෞරවයකි.

    ReplyDelete
  6. අක්කා මම මෙ දෙ නිරික්ෂනය කලෙ A/L කරන කාලෙදි.. මනසෙ අසහනය තමයි විශිෂ්ඨයව නිර්මාණය කරන්නෙ. පස්සෙ මම මෙ දේ දැක්කා , ලීලානන්ද ගාමාච්චි මහත්තයා පරිවර්තනය කරපු "මනසෙ මහිමය" කියන පොතෙන්. එකෙ මුල් පරිඡෙදයෙම. මම මෙතනදි අදහස් කරෙ, නිරන්තරයෙන් අසහානයෙන් පෙළෙන සිතක් ගැන.

    නිරවුල් මනසකට අතිසුවිශෙෂ වැඩ කරන්න බැහැ, ඉහල නිර්මානශීලිත්වයක්, ඉහල පරිකල්පන හැකියාවක් ආරොපණය වෙන්නෙ නැහැ. එකට අසහනය, කැමැත්ත තිබෙන්න ඔනා නෙද..

    එක නෙම අපි මෙ විරහාව, ආදරය ගැන පොඩි හැදැරිමක් කරලා ලිපි පෙලක් ලියමුද..

    ReplyDelete