Sunday, April 25

කමෙන්ට් කරන්න ගිහිල්ල ඇදගෙන නෑම නොහොත් මගේ පළමු පෝස්ට් එක

'හා හා පුරා' කියල මේකෙ ලියන්න මට සිද්ධ උනේ 'මගේ මරණය'ගෙ මෙන්න මේ පෝස්ට් එක හින්ද. මෙතනින් බලන්න.

තිස්ස අයියත් කිව්ව නොවැ ලියන්න කියල. ඒත් ඉතින් මට ඉස්සෙල්ලම ලියන්න උනෙත් පරණ සින්දුවක් ගැන. තිස්ස අයියගෙ specialized area එක. මාත් කරන්නෙ කෑ පතේ පැහැරුවා වාගෙ වැඩමනෙ.

:-(

මේකනෙ කේස් එක. මං කාගෙ හරි බ්ලොග් එකක් කියෙව්වම ඒකට ලියන කමෙන්ට් එක මාගලක් විතර දික් වෙනවා. දැන් දෙපාරක්ම ඔය වගේ උනා. තවත් ලියල මං ගුටි කන්න කලිං මට හිතුන දිග වැඩි ඒව මේකෙ දානව කියල. එතකොට මගෙ ලින්ක් එක කමෙන්ට් එකේ දැම්මම ඔය කවුරු හරි නහර කාරයෙක් ඉන්නව නම් සහ ඌට ටිකක් විතර පිස්සු නම් ඔය ලින්ක් එකට කොටල මේකටත් හොට දාල යන්නෙ නැතැයි. මගෙ මොකෝ.

(ඒ උනාට ඉතින් ඔයාල මේ පැත්තෙත් ඇවිත් මටත් හොඳවයින් දෙක තුනක් කියල යනවට මාත් ටිකක් කැමතියි හොඳේ. ) මළා. හොඳවයින් කිව්වෙ හොඳ වචන ඈ. නරක වචන හෙමෙ නෙවෙයි ඕං.

හරි. දැං අපි එන්ටර් වෙමුකො කමෙන්ට් එකට. මේක ටී. එම්. ජයරත්න මහත්තයගෙ 'ඔරුව වසා වැලි පුරවා' කියන සින්දුව මතක් උනාම මගෙ හිතට ආපු දේ. ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න එක හොඳයි කියල මට හිතුණා.

මාගල වගේ දික් උනත් මේ ටික නං නොකියම බෑ. මොකද මේව ගැන හුඟක් අය දන්නෙත් නෑ. තව අවස්ථාවක් ආයෙ එයිද කියන්නත් බෑනෙ.
'මහියංගණේ රන් කොත' ට වඩා සමාජීය අවශ්‍යතාවයක් ඉටුකරපු ගීතයක් විදියටයි මම නම් දකින්නෙ. ඕක ප්‍රශ්නයක් වෙලා තිබුණෙ වැඩිපුරම කළු ගඟ ආශ්‍රිත ජනතාවට. කළු ගඟේ පහත් ප්‍රදේශවල් පොඩි වැස්සකටත් යටවෙන්න ගත්තෙ ගඟේ ඉහළ වැලි ගොඩදාන නිසා අතුරු ප්‍රතිඵලයක් විදියට ගං ඉවුර කඩා වැටිල ගඟ ගොඩ වීමෙන්. පස්සෙ රජයෙන් අනවසර වැලි ගොඩ දැමීමට තහංචි දැම්ම. ඒත් හොරෙන් හොරෙන් තාම ක්‍රියාත්මකයි. කොහොම හරි මෝය කටත් හාරල සෑහෙන වැඩ කිඩ ටිකක් දැම්මට පස්සෙ කළුතර-මතුගම-පානදුර ජනතාවට තරමක සහනයක් ආව.
ඒත් කළු ගඟ අවට දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බ හොඳම මාර්ගයක් තමා මේක. දවසෙ අන්තිමට අතට හම්බ වෙන ගාන සාපේක්ශව වැඩි උනේ ජීවිතයට තියෙන අවදානම බොහොම වැඩිනිසා. ක්‍රීඩා කරන කවුරුත් දන්නව ඇතිනෙ පිහිනුම් සහ කිමිදුම් කියන්නෙ ශරීර ශක්තිය යහමින් අවශ්‍යවෙන ක්‍රීඩාවන් බව. මේකටත් එහෙමයි.
කළු ගඟේ ඔරුවකිං හරි පාරුවකිං හරි එගොඩ වෙලා තියෙන කෙනෙක් දන්නව ඇති ඒක කොයි තරම් ගැඹුරුද කියල! පොඩි වැස්සකටත් හෝ ගාල ගඟ ගලන්න ගන්නව. කොයිවෙලේ සැඩ පාරක් එයිද කියල දන්නෑ. ඒ වගේමයි රෑ එළිවෙනකන් ගැඹුරු වතුරෙ කිමිදි කිමිදි වැලි කූඩ පුරවල උඩට එවන්න ඕනෙ.
කරන විදිය ඔය සින්දුවෙ අපූරුවට ලියල තියෙනව.
දවසක් ඔය විදියට ජීවත් වෙන මනුස්සයෙක් මට හම්බවෙල කිව්වෙ වතුර යට විනාඩි දහයකට වඩා ඉන්න බෑ. ඔරුවෙන් කාලක් විතර පුරවද්දි මාර මහන්සියි. වතුරෙදි හුස්ම හිරවෙලා මැරෙන්න යන්න වගේ එද්දිත් දත කාගෙන ඔරු 2-3 පුරවන්නෙ ගෙදර ඉන්න පොඩිඋං දෙන්නගෙ හිනා කටවල් මතක් කරගෙන හිතට දහිරිය අරගන්න හින්දයි කියල. මට ඔය සින්දුව මතක් වෙලා එවෙලෙ ඇඬෙන්න ආව.
ඒ මිනිස්සු විඳින දහදුක් තේරෙන්නෙ එක්කො මේ වගේ සින්දුවකිං නැත්තං අවුරුද්දකට ගිළිල මැරෙන මිනිස්සු ගාණෙන්!
කොළඹට වෙලා සැප විඳින, ඉස්කෝලෙං ගේන්න කියල වදකරන නිසා පොඩි එකා කන්නැති බව දැන දැනත් බත් ටික යවල බර්ගර්1ක් දෙන්න බැරිඋනානෙ කියල නැහෙන අපිට ඒ ටිකවත් තේරෙන්නෙ නෑ.
ඉන්ජිනේරුවෙකුගෙ ඇතුළෙ මිනිහෙක් ජීවත් වෙන හින්දද මන්ද මට ඔය රැවුලයි කැඳයි දෙකම බේර ගන්න පුළුවං විසඳුමක් නම් පේන්නෙ නෑ. අනේ මන්ද? මේකත් හරියට අලි - මිනිස් ගැටුම වගේ.

"ඔරුව වසා වැලි පුරවා - එගොඩ ගොඩේ ගං ඉම සොයලා

හිමිදිරියේ කාසි අතේ - පැදපල්ලා, පැදපල්ලා

සඳු දෙවියයි පාළු මකන්නේ

තරු එළියයි පාර කියන්නේ


රකුසු දියේ ගැඹුරේ කිමිදී

වැලි කන්දේ තෙත් පල හමුවී

කූඩ හදා උඩට එවා කඹයේ දවටා

කඹයෙන්මයි ගොඩට ඇදෙන්නේ

ඔරු බැම්මේ ඈතට දුවපාං


රිටි පොවලා වෙල්යොදවන්නේ

හෙට උදයේ හිරු එළියේ කාසි උනන්නේ

ගංගාවෙන් ජීවත් වෙන්නේ

ඔරුව වසා වැලි පුරවා - එගොඩ ගොඩේ ගං ඉම සොයලා

හිමිදිරියේ කාසි අතේ - පැදපල්ලා, පැදපල්ලා

සඳු දෙවියයි පාළු මකන්නේ

තරු එළියයි පාර කියන්නේ///
අහන්න මෙතනින්

තිස්ස අයියට මල් මිටක් සහ තුති ගොඩක් දෙනව මාව දිරිමත් කළාට


7 comments:

  1. මහියංගනේ.... සිංදුව ගැන තියෙන එකත් බ්ලොග් එකටම දැම්මනම් හොඳයිනේ

    ReplyDelete
  2. Ansh Lucky Sri JayApril 25, 2010 at 7:46 PM

    නියමයි. මම කමෙන්ට් ටිකත් කලින් කියවලා තියෙනවා.
    :)

    ReplyDelete
  3. ඔයාගේ ඒ මාගල් Comment දෙකම මම කියෙව්වා... නියමයි දැන් ඉතින් දිගටම ලියන්න.... :)

    ReplyDelete
  4. @ ම, Ansh Lucky Sri Jay, Nishacharaya,

    තැංකූ කිව්වා හැමෝටම

    "ඔබේ දිරිය මගේ ශක්තියයි".....

    ReplyDelete
  5. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනට ලියනවාද කියලා... අපේ රටේ මිනිස්සුන්ට කොපමණ විවිධ හැඟීම් තියන්වාද බෙදාගන්න... වැඩ පාඩු නොකරගෙන දිගටම ලියන්න අප්පා... රහට ලියනවා....

    ReplyDelete
  6. බලමු බලමු!
    ලියන්න ඒවා ලේසියෙන් හිතට එන්නෙ නෑනෙ අප්පා.
    තැංකූ කිව්ව ආයෙත් !

    ReplyDelete
  7. මමත් කියවලා තියනවා ඔයාගෙ කමෙන්ට් .තිස්ස, දුකා අයියලාගෙ අඩවිවල.
    රසවත්ව සහ හිතට දැනෙන්න ලියනවා ඔබ.
    දිගටම ලියමු එහෙනම්. ජය පතනවා.

    ReplyDelete