Sunday, July 18

අයැදිමි...


නෑසෙන්න පවසන්න,
නෙක පැතුම් සවන'තට.

ඉඩ දෙන්න පිවිසෙන්න,
ඔබ ඉන්න ඒ ලොවට.

ඔබ මෙන්ම විඳගන්න,
ඔබෙ හැඟුම් මගෙ ලෙසට.

පිබිදෙන්න! එක්වෙන්න!
මගෙ පැතුම් මහමෙරට....
.
.
.

Tuesday, July 6

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

අම්මප ඇත්ත නේන්නං!!!
දීපංකො උත්තර!!!

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා,
අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ? 

ආලවඩන ඔමරි ලතා, බාල බොළඳ මිහිරි කතා
හැමදාමත් එක විදියට නෑ පවතින්නේ
මේ කන්නත් පහුව යාවි, අපි දෙතැනක වයස යාවි
ඉර හඳ තරු අපි වෙනුවෙන් නෑ නවතින්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

වනේ දුවන මුවන් බලා, හෙළා ඉවත නෙලූ පලා
නඟේ ඔහොම කොපමණ කල් ඉන්නද යන්නේ?
මට මව්පියො දොස් කියාවි, වෙන එකියක් ගැන සොයාවි
මම නම් නැහැ තනි පැදුරක වයසට යන්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්....  

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?//

අහනවනං මේං

එඩ්වඩ් ජයකොඩි
සෝමරත්න දිසානායක
රෝහණ වීරසිංහ

Sunday, July 4

රත්තරනේ, විරහවටත් මං ආදරෙයි!

ආදරය නැතිව අපිට ජීවත් වෙන්න බැරුවා වගේම ආදරය ඇති තැන විරහවත් තියෙන නිසා විරහවත් අපිට අනිවා විඳින්න වෙනවා. ඒ දුක තුළත් අත්‍යන්ත සුන්දරත්වයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. 
මම පුංචි කාලෙ ඉඳළම සිංදු අහන්න හරිම කැමතියි. ඒ වගේම එක එක කාණ්ඩ වලට සිංදු බෙදල වෙන වෙනම කැසට් වලට ගහගෙන ඒව අහ අහ තමයි මම ඉස්කෝලෙ වැඩ එහෙම කරන්නෙ. ඔය බෙදපු කාණ්ඩ අතරින් මගෙ ප්‍රියතම එකක් උනේ මේ 'විරහ ගී' කාණ්ඩය. 
තව එක කාණ්ඩයක් තමයි මේ තියෙන්නෙ.
ඔය 'විරහ ගී' අතරෙ තිබුණෙ නිතර අහන්න නොලැබුණු ඒව විතරයි. හැම තිස්සෙම රේඩියෝ එකේ ඇහෙන ඒව මොකටද සල්ලි දීල ගහල තියාගන්නෙ? ඒ කාලෙ සල්ලි කියන්නෙ හරි අමාරු දෙයක් නෙව. අපි යැපෙන්නො නෙ.
හැබැයි ඉතින් ඔයින් සමහරක් සිංදු මගෙ යාළුවො නම් උපන්තේකට අහල නැති එව්ව! ඒ හින්ද එයාල කියන්නෙ මගෙ ස්වභාවික අනුනාද වෙන සංඛ්‍යාතය සාමාන්‍ය අයට වඩා වෙනස්ලු.(හපොයි. විජ්ජා කාරයොන්ට නම් තේරෙන්න ඇති නෙව.) 
බලන්නකො ඔයාලත් අහල.
මේවට මම කැමති වෙන්න හේතුව එක්කො වාචික අර්ථය, තනුව, සංගීතය, ගායනයේ විශේෂත්වය, යොදාගෙන තියෙන සංගීත භාණ්ඩ. එහෙමත් නැත්නම් ඔය කියපුවයින් දෙකක හෝ කීපයක සංකලනය. ඒ නිසා සමහර වැරදි වැටහීම් හෝ ආදර්ශ දෙන ගීතත් ඔය අතරෙ තියෙනව. 
ඒ නිසා මේ අවවාදයත් හිතේ තියංම මේ ටික අහනවනම් තමා වඩා හොඳ.

මා දෙනෙතින් ගලනා - කඳුළැල් ගඟුලේ
ඔබගේ හසරැල් කුසුමන් පීදේවා!

රෑ තුන් යාමේ - මතකයෙ වැතිරී
මා හෙලනා සුසුමන් - ඔබගේ නැවුම් ලොවේදී නැඟෙනා
සැනසුම් සුසුමන් වේවා!

මා දෙනෙතින් ගලනා....

මේ තනි යහනේ - මියයන සිහිනේ
මා දවනා හැඟුමන් - ඔබගේ පැතුම් තලාවේ පිපෙනා
සිහිළැල් සඳරැල් වේවා!

මා දෙනෙතින් ගලනා....  
ගායනය : එඩ්වඩ් ජයකොඩි
ගී පද : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැළි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුළේ - ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුළක් මල්පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා...

යළි කවදාවත් හමු නොවෙනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහාගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා...
ඇය යන්න ගියා මැකිලා...
ගායනය : අමරසිරි පීරිස්
ගී පද : සුනිල් සරත් පෙරේරා
සංගීතය : එච්. එම්. ජයවර්ධන

ඔබ එදා නම් සඳ වගේමැයි
  ඔබ මෙදා හිරුවී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
  ඔබ දමා යන්නට හිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි

නෙතේ නෑ ආදර බැළුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම්? //
  ඔබේ ලෝකය නොවේ මගේ ලොව!
  මැකී යයි ආදර හැඟුම්
ඔබ එදා නම් සඳ වගේමැයි

පිටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුණේ ඇයි රස මැවූ? //
  නොදන්නෙමි වැරදුනේ කොතැනද,
  දෛවයද මේ අප පැතූ?
ඔබ එදා නම් සඳ වගේමැයි...

ගායනය : අමරසිරි පීරිස් සහ ?
ගී පද : ?
සංගීතය : ?
පාවෙන වළා අතර - ඔබ සැඟවී - ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි! //

රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා //
ඇල දොළ ගලා බසීවී - වනමල් රේණු නෙළාලා
පාවෙන වළා අතර...

ඔබ ප්‍රභාතයේ ගීයක් වේනම්
ළාහිරු ගලන පැයේ මා හිනැහෙන්නම් //
ජීවන මිහිර කියාදුන් - ඔබෙ ලය පහන් කරන්නම්
පාවෙන වළා අතර...
ගායනය : චරිතා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද : ?
සංගීතය : ?
ඔබ මා සමඟ අතින'ත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස
ඔබ මා අතැ'ර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැ'හින් මදෙස!

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා හිතට දැනෙයි

ඔබ මා සමඟ අතින'ත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස
ඔබ මා අතැ'ර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැ'හින් මදෙස!
ගායනය : ඩබ්. ඩී. අමරදේව
ගී පද : සුනිල් සරත් පෙරේරා
සංගීතය : ඩබ්. ඩී. අමරදේව
මේ ගී එදා
ඇගේ හදින්
මා ඇසූ රාවයයි //

ඇගෙ පිළිරුව හිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමී
එපමණදෝ මට හිමී?
මේ ගී...

ලෝ සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ
මේ ගී...
ගායනය :   ඩබ්. ඩී. අමරදේව
ගී පද : අජන්තා රණසිංහ
සංගීතය  : ප්‍රේමසිරි කේමදාස
විකසිත පෙම් පොකුරු පියුම් - ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පති කුලයට අද මට පිටුපා යන - මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ

හිතේ කඳුළු බිඳු - රෑ තනියානේ
ඉහ ඉද්දර හිඳ - ඉකිබිඳිනා සඳ
ආදර සැමැරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා //
විකසිත පෙම්...

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා //
විකසිත පෙම්...
ගායනය :   ඩබ්. ඩී. අමරදේව
ගී පද : අජන්තා රණසිංහ
සංගීතය  : ප්‍රේමසිරි කේමදාස
මේ තනි යහනේ - නිදි නැති පාළු රාත්‍රියේ
මා සිතු දැහැනේ - නොනිදන කවුරු හෝ හිඳී
පෙරදා පුරුදු සේ - නොහඬා හැඬූ නෙතින්
මේ තනි යහනේ - නිදි නැති පාළු රාත්‍රියේ

තාරකා දැලෙන් එහා ඒ - අහිමි විජිතයේ
සිහින සේ ගලා හැලෙන්නේ - සුවඳ ආදරේ
පීදෙනා යොවුන් සිනාමල් - සැඟවෙනා පැයේ
සුසුමදෝ හඬා වැටෙන්නේ - බිඳුණු ස්නේහයේ
මේ තනි යහනේ...

නෑසෙනා හඬින් කියූ ඒ - පෙම් කතා අපේ
මේ සඳයි මමයි අසන්නේ - තනිව මේ රැයේ
කවුළුවෙන් බලා සිනාසී - නිසල වී හදේ
කවුරුදෝ සෙමෙන් මැකීයයි - කඳුළකින් නෙතේ
මේ තනි යහනේ...
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය : රෝහණ වීරසිංහ
සිහිනයක වෙළී - දොර කවුළු ළඟ රැඳී
ඔබ දුරක සිට හොරෙන් බලයි - මඳහසක් නොදී
එපමණද මට හිමී?
සිහිනයක වෙළී...

මඳ පවන හා ඇදී - ඔබ සුවඳ මට දැනේ //
හිත ඉකිගසා හඬා වැටෙයි - තනිකමක් දැනී
එපමණද මට හිමී?
සිහිනයක වෙළී...

මහ රැයක අවදි වී - තනි යහන මත රැඳී //
ඔබ ගැනම සිත විඩා දෙවයි - නෙතට නිදි නොදී
එපමණද මට හිමී?
සිහිනයක වෙළී...
ගායනය : සුනිල් එදිරිසිංහ
ගී පද : සෝමරත්න දිසානායක
සංගීතය : රෝහණ වීරසිංහ
එපා යළි හමුවන්න - ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ - වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක - පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ - අරං ඈතට යන්න

සංසාර ගමන් මඟ - සෙනෙහස සොයා දිනෙක
ආ ගමන නිමා කළ - ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන - කඳුළු බිඳුවක පහස
ගලායයි අතීතේ - මිය ඇදුණු සෝන ළඟ

ඔබ ම'වෙත තිළිණ කළ - ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා - සදා කල් රැඳෙණු ඇත
සංසාරයේ යළිදු - නවාතැන් සොයා යන
මගේ මළගම දාට - ඇවිත් යන්නට එන්න
එපා යළි හමුවන්න...
ගායනය : සුනිල් එදිරිසිංහ
ගී පද : ?
සංගීතය : ?
කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙළන්න
සක්වල ගල සසල වන්න //

හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න
කඳුළු දෙන්න...

ළිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න
කඳුළු දෙන්න...//
ගායනය : සුනිල් එදිරිසිංහ
ගී පද : ?
සංගීතය : ?
සඳකැන් වැසිලා - අඳුරේ එතිලා
ගනඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න - ගනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී //

ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙළෙනු පෙනේ //
මේ ලොව මා සතු - ඈ සතු - ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
සඳකැන් වැසිලා...

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා //
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
සඳකැන් වැසිලා...
ගායනය : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
වනපෙත මගෙන් සෙවූ - සරතැස ඔබේ
පැන් තොට මගෙන් ලැබූ - පවසත් ඔබේ
නිල්වන් දියේ - හසරැල් සැලූ
මගෙ ආදරේ සුගන්ධයේ - ගමන් වැසූ
පවුරත් ඔබේ

ගිනිදැල් මැවූ දා - හසරැල් පුදන්නම් 
තුන්සිත දැවූ දා - මම මල් ඉසින්නම් //
මේ මංපෙතේ - තනිවූ මගේ
හිත දෙදරවා - කඩා දැමූ - ඔබේ සරදම්
තනියෙන් විඳින්නම්

අඳුරින් වැසූ දා - සඳරැල් එවන්නම් 
මගේ තටු නැසූ දා - ඔබෙ බැමි මුදන්නම් //
මේ මංපෙතේ - තනිවූ මගේ
හිත දෙදරවා - කඩා දැමූ - ඔබේ සරදම්
තනියෙන් විඳින්නම්
වනපෙත මගෙන් සෙවූ...
ගායනය : එඩ්වඩ් ජයකොඩි
ගී පද : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : සරත් ද අල්විස්


ප.ලි.
ඔබත්, ඔබේ සුවඳ තවකෙකුට බැතිබර ලෙසින් දැනෙන්නට ඉඩ හරින්න.
එවිට ඒ අනෙකාට, 'ගිනිදැල් මැවූ විට හසරැල් පුදන්නටත්', 'තුන්සිත දැවූ විට මල් ඉසින්නටත්', 'අඳුරින් වැසූ විට සඳරැල් එවන්නටත්' මෙන්ම 'තටු නැසූ විටෙක අනෙකාගේ බැමි මුදන්නටත්' ඉඳුරා හැකි වනු ඇත.
එතරම් බැති බර වූ ඔබටද, එවැන්නක් සිදුවූ විට එලෙසම මල් ඉසින්නටත් හැකි වනු ඇත.
එසේ වන්නේ නම් මේ ලොව කොතරම් සුන්දර වේද?