Tuesday, May 25

අනේ බුදුහාමුදුරුවනේ, අපිට මොකටද වෙසක්? ( wesak! what for??)



ස්සා සා සා සා.......දු!

අනේ බුදුහාමුදුරුවනේ මට ඔබ වහන්සේ මතක් වෙන්නෙ වෙසක් කාලෙට විතරමයි. 

ඔබ වහන්සේ ඉපදුනේ, බුදු උනේ, පිරිනිවන් පෑවෙ වෙසක් දවසෙලු. 
(හොඳ වෙලාවට, බුදු හාමුදුරුවො මොළේ කල්පනා කරල  ඔය වැඩ තුනම එක දවසෙ කරගත්තෙ. ඇයි හත්තිලව්වෙ නැත්නම් වියදම් කරපන්කො තුන් පාරක්ම!)

ඒ හින්දා මං දන්සැල් දාල, තොරණ් ගහල, පන්සලේ පිංකම් තියල "දානපති අසවලා" කියල කොහොම හරි කියාගන්නවා. 
(දන්සැල් දාන එකත් මරු දතක්නෙ. නියමෙට කීයක් හරි ගහගන්න පුළුවංනෙ. මොකෝ පව් සිද්ධ වෙනවයැ. වෙසක් එකටනෙ.)

කොහෙද? මුං වෙලාවකට මගෙ නම කියන්නෑනෙ. 
ඔන්න ඔය වෙලාවට තමා මට ඌරු ජුවල් නගින්නෙ.

ඒ අස්සෙ මේ හාමුදුරු කෙනෙක් කියනව 'වෙසක් එකට විතරක් ආමිස කරල වැඩක් නැතිලු හැමදාම ප්‍රතිපත්තිත් රකින්න ඕනෙ'ලු. 
අනේ! ගනයගෙ ප්‍රතිපත්තිය!

තව එකෙක් මට කියනව, 'ඔය ලෝකෙට පේන්න මල් පූජ කරල, පහන් පත්තු කරල වැඩක් නැතිලු. කරනවනම් හිත සුද්ද කරගෙන හිතේ පහනක් පත්තු කරන්න'ලු. 
ඒ යකාට මඤ්ඤංද කොහෙද? ඇඟ ඇතුළෙ කොහේ පාන් පත්තු කරන්නද?
උං දන්න බම්බුව. 
හරක්! 

මේකෙ රහ දන්නවද උං? 
මෝඩ හැත්ත!
..

කවුද යකෝ මේ අවේලාවෙ සිංදු කියන්නෙ?


වෙසක් ලබනවා තොරණ් බඳිනවා
තැන තැන දන්සැල් ඉදිවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් සිරිලක රජ වෙනවා
 
වෙසක් ගෙවෙනවා තොරණ් ලිහෙනවා
දන්සැල් කාලය නිමවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් රජකම හැරයනවා!
 
වෙසක් කාලෙටයි කාගෙත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා?
නම්බු රැකීමයි නිවන් දැකීමයි  

එක මඟ යන්නේ කොහොමද මන්දා? ///



ඈ යකෝ! 
මේ එඩ්වඩ් කාරය නේද මේක කියන්නෙ? 
මොකද්ද බොල ඌට තියෙන අමාරුව? 
ඌ කතෝලිකය. 
***###**
අපිට ඕන්නං අපි කරනව - නැත්තං නිකා ඉන්නව. එක එකා එනවද මෙතන උපදෙස් දෙන්න?
ඕක නම් ඉංතේරුවෙන්ම අපේ මේ 'සිංහල බෞද්ධයො' ගැන ඉරිසියාවට අපිව නැති කරල දාන්න ඕකුං පිටරටවලුත් එක්ක එකතුවෙලා ගහපු ප්ලෑනක්. 

අපේ ආගම නැතිකරන්න!
හිතුව මදි තොපි. 

තියෙන දෙයක් කාල බීල සද්ද නැතුව ඉන්නැතුව ආව අපේ හරි වැරදි කියන්න. 
කාලකණ්ණි!!!

අපිව නැති කරල උංගෙ ආගම පතුරවන්න! 
මේ ලංකාවෙ!
හුහ් ....
ඒව කොහෙද යකෝ අපිත් එක්ක?

වරෙව් යන්න මාත් එක්ක. 
වරෙල්ල යන්න ඕකගෙ ගේ බිමට සමතලා කරල, ඇට කටු ටික කුඩු කරල එන්න. 

*&%^#!*****grrr*** crush****#*&*&*





Monday, May 24

උණු උණු වෙසක් ගීතයක් සමඟ සිතන්නට බොහෝ දේ !

මේ ගීතය පටිගතකලේ බොහොම කාලෙකට ඉස්සර. ඒත් මුලින්ම ජනමාධ්‍යයක ප්‍රචාරය වුනේ මේ දැන් ටිකකට කලින්. 

ප්‍රේමකීර්තිගෙ තවත් පුදුමාකාර පද පෙළක්. ඔහු ඔහුගේ මරණය දුටුවාවත්දෝ කියල එක් විචාරකයෙක් මේ ගැන කියද්දි සඳහන් කළා. 
රෝහණ වීරසිංහගෙ සංගීතයට ගායනා කරන්නෙ එඩ්වඩ් ජයකොඩි. 
ආරියදාස පීරිස් අධ්‍යක්ෂණය කරපු සුභා කියන චිත්‍රපටයෙ එන ගීතයක්. මේ චිත්‍රපටය තව නොබෝ දිනකින් අපිට දැකබලා ගත හැකිවේවි. 

එඩ්වඩ්ගෙ මනාව පාලනය කරපු ඉතාම අලංකාර ගායනයත්, රෝහණගෙ නියමෙට ගැළපෙන සංගීතයත් ගැන නොකියාම බෑ. ගීතය අහන්න සලස්වන්න බැරි වීම ගැන සෑහෙන දුකයි. ලැබුණු ගමන් දාන්න පොරොන්දු වෙනවා. 
පද මෙතන තියෙනවා. 
 
පංසලේ කෝවිලේ පල්ලියේ දෙවියනේ
ජීවිතේ බර බාර දී වැඳ යාදිනා දුක් යාතිකා
නෑසුනේදෝ ඔබට මිනිසා
චෝදනා කළ කාරණා //

අවිදරා අත එකිනෙකා මැඩ
නෑ ලොවේ සාධාරණේ
ඔබ කතා නැත බිඳ වැටීලද
සාමයේ පූජාසනේ
කෝ මගේ දෙවියෝ
කෝ අපේ දෙවියෝ //

වරද කාගෙද නැතිද දඬුවම්
නීතියේ දෙව් නීතියේ
බණ පොතේ බණ, බයිබලේ පද, ගීතිකා දේවාලයේ
බුදු පියාණෙනි, දෙව් පියාණෙනි, කුරුසියේ, අල්තාරයේ
ලෝකයා හමුවේ සාමයේ මහිමේ
දෙසනු ආයේ නැවත බිහිවී
දේශනා, බණ දේශනා

ජීවිතේ බර බාර දී වැඳ.....

ආගම්වල නාමයෙන් එකිනෙකා ඇනකොටා ගන්න මේ කාලෙ මේ ගීතය අපිට හිතන්න බොහෝ දේ ඉතිරි කරල තියෙනව නේද?

Saturday, May 22

මා සිත් ගත් කවි - 2. (කවි මඩු)

රට තොට නම නම් වේගයෙන් ගියා
අමරසිංහ නම් නියම සිංහයා
මේ ඔක්කෝටම නෙළන්නම් කියා
මාකඳුරෙන් ඇවිදින්ලු චණ්ඩියා //

සිරියා ඉන්නේ දැන් කෙළවරමයි
මටත් තියෙන හොඳ නෑකම නියමයි
රහසක් පවසමි ඔබටත් පුදුමයි
රෑට නිදාගන්නෙත් මගෙ ළඟමයි //


මී පැණි හලන්නට ඔබගේ දෙසවනට
දස්කම් මටත් හිමිවී ඇත පෙර පිනට
මගෙ කයිවාරු ගැසුවා මෙහි ඇති දැනට
ආභරණයක් වෙන්නම් දැන් මුල'සුනට //


කහවත්තේ පැවති කවි මඩුවකදීය.
ගාල්ලේ ජී. ඇම්. අජිත් මුලසුන හොබවමින් කවි කිවිඳියන් හඳුන්වා දුන් අයුරුයි ඒ. මෙහි සඳහන් කරන ලද්දේ වාදයට සහභාගී වන දෙදෙනාගේ හැඳින්වීම පමණි.

මුලාසනය:
පෙරහැර එක දිගට යනකොට නැත එළියක්
මට ඒ වග හිතුණි තනියම දහ වලියක්
එහෙනම් ඉතිං අරඹන්නද ගිනි කෙළියක්
අප්පුඩියක් ගහමු ඇතිවෙන්නට ජොලියක්

පසු බැස නොමැත මාකඳුරේ අමරේලා
සටනට පා තබති කොහොමත් සිරියාලා
ඔහුවයි ඇයයි මෙහි ඩිංගක් පටලාලා
දැන් මම බලන්නම් හැමටම රස දීලා
කවියා:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ

කිවිඳිය:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

කවියා:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි

කිවිඳිය:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ 

කවියා: 
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ 

කිවිඳිය:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා
.........
කවියා: 
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ 

කිවිඳිය:
අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී 

කවියා: 
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?

කිවිඳිය:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල 

කවියා: 
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය   

කිවිඳිය:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ 

කවියා: 
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක් 

කිවිඳිය:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා 

මුලාසනය: 
හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

කාලය මැවු වෙනසක අරුමේ......(අනේ අනිච්චේ, දුක්ඛේ!!!!)



දහසක් කඳුළැලි
සුවහසක් සෝ සුසුම්
එකට කැලතී 
එක රැයින් ගොඩ නැඟුණු 

ම'දෙස හෙලූ නුඹ නෙතු 
සැංගී උණුසුම් කඳුළක්.....

විසි වසක් පුරාවට 
දුටිමි 
එනු යනු 
දැරීමි සියල්ල 
නොදොඩා නොසෙල්වී....

තුරු ලතා වල් 
සැරසුණු මා ගත 
ජරා ජීර්ණවූ
වෙහෙස වසං කළ 

 මදෙස හෙලන්නේ 
අනුරා බැල්මකි!


ප.ලි.
දුක්බර කතාවක් රැගත් මේ ස්මාරකය එකල ප්‍රෞඪව නැඟී සිටි බවටයි සාක්ෂි ලැබුණේ.
එහෙත් අද..... "ශෝචනීයයි" කියනු හැර වෙනත් කුමක් නම් කරමුද?
"වියෝ වූවන් සමරමු" හිසින් යුතුවූ, කළු - සුදු, ජරා ජීර්ණ ඡායාරූප කිහිපයක්ම ලැබුණු නමුදු නොපිපුණු, බොහෝ කලකට පෙර නැඟුණු මේ කවි පොහොට්ටුව, අද පිපෙන්නේ පළ කළ හැකි මට්ටමේ සේයාරුවක් ලැබුණු නිසාවෙනි.
අන්තර්ජාලයට මුදා හැරුණු විගසම එය හොරකම් කරගන්නට සිදුවූයේ යටි හිතේ පැසවමින් තිබූ මේ ආශාව නිසාමය.
එහෙයින් මෙය හොරකම් කිරීම පිළිබඳවත්, මෙම පිංතූරයෙහි පහළ කොටසෙහි වූ පියකරු තරුණ පිරිසගේ මූණත්තහඩු කපා දැමීම (crop) පිළිබඳවත් මෙහි අයිතිකරු මා හට සමාව දෙනු ඇතැයිද සිතමි.
එය එසේම වේවා!

නොතේරුණ අයටයි මේ හැඳින්වීම,
මේ, 80 දශකයේ අඳුරු කාල පරිච්ඡේදය තුළ වියෝ වූ සියළු දෙනා සිහිවීම පිණිස මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇති ස්මාරකයයි. එකළ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල මෙය ඉදිකර තිබුණත්, අද වනවිට එය සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් විවෘත කෙරෙන පිවිසුමක් වන නිසා තරමක් පාළු ස්ථානයක් බවට පත්වී ඇත. එපමණකුදු නොව, අද දරුවන් මෙය කුමක්දැයි පවා නොදන්නා සෙයකි! වසර ගණනක් තිස්සේ උදේ හවා එතැනින් පියමං කරන, මගේ දෙනෙතට හසුවන දසුන් මා හද කම්පා කරවයි. මේ සිතිවිල්ල බිහිවී හදේ පැසව පැසවා පැවතියේ එහෙයිනි.

Wednesday, May 19

නාරද දිසාසේකර අද නිහඬ වෙලා!!!


මම කිසිත් නොමදත් ළදරුවෙකු සේ මං මුළා වී සරමින් සිටියෙමි.
පිපී රේණු නටන මලක හැප්පී, ළා දළු වන මල්ද හිමිහිට සෙළැවූ පවන් රොදක් මට වරෙං වරෙං කියා අඬගැසුවේය.
ඒ ඇරයුමින්ම මගේ මතකයේ නිම් තළා බිඳ අතීතයේ ගඟ ගලා බසින්නට පටන් ගති.
ඈත ගව් ගණන් දුරින් පාවී ආ විලාසිතා අතරින් ආදර නිල් දෑස ඔහුට හමු වූවිට, මුළු හදින්ම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මවා ඇය තවෙකෙකුට අයිතු වුණු හැටි බලා දුක් වූවත් පසුව ඇය නාමලින් දිනූ ලියක්දැයි ඔහුට සිතුණු වාරද අනන්තය.
එහෙත් සියළු දුක්ඛ දෝමනස්සයන් පසෙක ලා, රස වෑහෙන මකරන්ද ඇති පුෂ්පයක ඇරයුමින් මල් පීදුණු කැදැල්ලකට තුරුල් වී කෝකිලයෙක් සේ, හිත ගිය තැන මාළිගාවක් සැදුවේ, ප්‍රේම ලොකේ නීති රීති හරි වැරදි නොසළකන හෙයින් සටනක් වූ ප්‍රේමය චේතනා පරිශුද්ධ වූ හෙයින්ම ජයගත් නිසාවෙනි.
පසුව ඔහුගේ හද මාළිගයේ අභිෂේක ලබාගත් ඈ රන් ගිර'ගින් රන් බඳුනට රන් මසුරන් වැටෙන හඬ ඇසී සතුටින් සිනා නැඟුවාය.
එහෙත් සලිත විලෙක රළ පෙළ විලසින් තණ්හාව නැඟෙනු දුටු විට රන් රිදී වස්තුව එපා කියා ඔහු එය අතහැර දැමීය.
මලින් මලේ රේණු උරමින් පෙම් හබ වල පැටලී සිටියත් උපන් බිමෙ උරුමය රැක ගන්නටත් පෙරටම ගියේ "සවිබල යකඩ වගෙයි අපෙ අත්වල - එඩිතර ගතිය තිබෙයි අපෙ හිත්වල" කියමිනි.
ජීවිතේ ගලන ගඟක් වගේ දුටු ඔහු පුරුදු ජීවන මං තලයේදී ලෝකයේ ගමන නොනිමෙන බවද දුටුවේය.
හිමින් හිමින් පිටුපස්සෙන් තවලම යන්නා වාගේ ගෙවෙන ජීවිතයේ උදාසීන බවද අවසන් කාලයේදී ඔහුට පෙනිණි.

"ජනන මරණ දෙකෙහි බැඳුණු බොරු ආටෝපේ
කොතෙක් දිනක් බලා සිටිමි නිවටෙකු වාගේ
නිවන් සොයා වල්වැද යමි සැණකෙළි ලබමින්"
අවසන මෙසේ කියමින් කුඩ මස්සකු සේ අනන්ත සයුරේ අප තනිකරදමා ඔහු පිටත් විය.

තනිකම වැළපේ. එනමුදු ඔබට නොපෙනේ.

මගේ මුළු හද පාළු හේනකි - කාට මේ දුක කියම්දෝ???

දුකට මුල ආදරය යනබව නොදත්තෙමි නාරදයෙනි....!!!

"දෛවය එක ලෙසයි කාටත් එළඹෙන්නේ
එය කිසිවිටක නැත කිසි තැන පැකිළෙන්නේ
බියකරු රෝගයක සළකුණු පවසන්නේ
අපිහැම තනිඋනා නාරද නැත එන්නේ"

මේ භවයෙදි මුළු දියදායේ - උපදිනු මැන මෙහි ඔබ ආයේ !!!!

අපේ භාෂාව කොයිබටද?

සිංහල බ්ලොග්කරණය, සිංහල යුනිකෝඩ්, සිංහල ටයිපින් අද හරිම ජනප්‍රියයි. කොච්චර දෙයක්ද? මේ දේවල්වලට මහන්සි උනු හැමෝටම බොහෝමත්ම පිං.

අපි අද පාවිච්චි කරන්නෙ හරි සිංහලද?

නිකමට බලන්න පාරෙ යනකොට එල්ලල තියෙන බැනර්, කටවුට්, පෝස්ටර් සහ අනෙකුත් දැන්වීම් දිහා. හරියට භාෂාව පාවිච්චි කරපුවා හොයන්න කළුනික හොයනවටත් වඩා අමාරුයි නොවැ.

ඊළඟට පත්තරේ ගන්නකො. මරු හෙඩිම් නේද තියෙන්නෙ?

ටී වී එකේ හරි රේඩියෝ එකේ හරි නිව්ස් ඊට හපං. මේව දැකල පණ පළයං පෙරේදා කිව්වලු.

වැරැද්ද ඉස්කෝලෙනම් වෙන්න බෑ. මොකෝ ඉස්කෝලෙ 1 වසරෙ ඉඳල 11 වසර වෙනකම්ම සිංහල විෂයක් හැටියට උගන්නනවනෙ. නිවැරදි ව්‍යාකරණ රීති, නිවැරදි අක්ෂර වින්‍යාසය, උපමා, උපමේය, සන්ධි, සමාස, ප්‍රත්‍ය එකී - මෙකී - නොකී සියළු දෑ කියල දෙනවනෙ. අපිත් ඉගෙන ගන්නවනෙ. මතක තියාගෙන, පාඩම් කරල විභාගෙත් පාස් වෙනවනෙ. ඊට පස්සෙ පාවිච්චි කරන්නෙ නැති එක තමා කොස්ස.

ඇයි සිංහල වලට විතරක් කුඩම්මගෙ සැළකිලි? ඉංග්‍රීසි ලියන කොට හරි, කියන කොට හරි පොඩි ස්පෙලිං මිස්ටේක් එකකට නැත්නම් ග්‍රැමර් ටිකක් වැරදුණාම ඒක අපිට බොහොම ලැජ්ජාවට කාරණයක්. වහාම සමාව ඉල්ලල හරි ගස්සනව. සිංහල වැරදුනාද කියලවත් දන්නෑ.

ඇයි අපිට එහෙම දෙයක් වැදගත් වෙන්නෙ?

එකක් තමයි අපිවත් ඕව හරියට පාවිච්චි කලේ නැත්නම් අපේ දරුවන්ගෙ කාලෙ වෙනකොට 'මේ අපේ දේවල්' නැත්තටම නැතිවෙලා යාවි.
අනික තමයි සිංහල කියන්නෙ මහා පුදුමාකාර භාෂාවක්. පොඩ්ඩක් බලන්න සිංහල කෙනෙකුට නිවැරදිව උච්චාරණය කරන්න බැරි එක අකුරක්, වචනයක් තියෙනවද වෙන කිසි භාෂාවක?

භාෂාවක් පෝෂණය වෙන්නෙ කාලයත් එක්ක එකතු වෙන විවිධ භාෂාවලින් බිඳී එන අලුත් වචන වලින්. ඒක හරි. එහෙමෙයි කියල අළුතින් දළු දාපු පළියට මුදුන් මුල කපා දාන එක හරිද?

පොඩි එකා කියන එක ලියන්නෙ "ළමයා" කියල මිසක් "ලමයා" කියල නොවෙයි කියන එක අපි ගුටි කකා ඉගෙන ගෙන තියෙනව. ඒත් පාවිච්චි කරන්නෑ.

කතා කරන භාෂාව අපි හැමෝම නියමෙට පාවිච්චි කරනව. ඒත් යමක් ලියන කොට ටිකක් වෙනස් නේද? අපි 'කල' කිව්වම එන අදහසත් 'කළ' කිව්වම එන අදහසත් දෙකක්. මුල් එකෙන් හැඟවෙන්නෙ 'කාලය' දෙවැන්නෙන් 'කරන ලද ක්‍රියාව'. අද මේ 'න ණ ල ළ' භේදය යොදන්නෙ කීයෙන් කී දෙනාද? අපි දන්න විදියට දන්න දේ සිංහල ලියද්දි භාවිතා කරමු. එවිට එකිනෙකාගෙන් ලබ ගන්න ගුරු හරුකම් වලින් අපේ දැනුම පෝෂණය වේවි. මේවා බලන අපේ බාල පරපුරට හරවත් යමක් ඉතිරි වේවි.

අනික අපි දිගින් දිගටම වැරදි දේ යොදා ගනිද්දි ඒක සමාජයේ සම්මතයක් බවට පත් වෙනවා කොච්චර වැරදි උනත්. හරියට අර පහුගිය කාලෙ කතා උනු ගොබෙල්ස් න්‍යාය වාගෙ. ඒක වෙන්නෙ අපි නිතර දකින දේ අපේ ඇහැට හුරු වෙලා ඒක නියතයක් බවට පත් වෙනවා. අපි කොච්චර අක්ෂර වින්‍යාස රීති පාඩම් කළත් අපිට ඒව මතක තියෙන්නෑ. අපිට මතක අපේ ඇහැට හුරුවුණු එක.

උදාහරණයක් විදියට මට යම්කිසි වචනයක් හරියට ලියන විදිය මතක නැත්නම් මම කරන්නෙ මට සැක හිතෙන ආකාර කීපයකට ඒ වචනය ලියල බලල වඩා හුරු වචනය තෝරා ගන්න එක. මට ලියන්න ඕනෙ වෙනවා 'පෝසනය' කියන වචනය. මම ඒක ලියල බලනව...

  • පෝශනය
  • පෝෂනය
  • පෝශණය
  • පෝෂණය

මට මතක නැති වෙනව "ෂ"යන්නට පස්සෙ එන "න"යන්න හැමවිට "ණ" බව. සමහර විට මම හැමතැනම දැකල තියෙන්නෙ 'පෝෂනය' කියල නම් මම තෝරගන්නෙ ඒක වෙන්න පුළුවන්; හරි එක වෙන 'පෝෂණය' වෙනුවට. මේ වැඩේ දිගින් දිගටම ගියොත් මොනවා නම් සිද්ධ නොවේවිද?

අද ගොඩක් අයට උක්ත අනුක්ත පද අමතකයි. "අප සංවත්සර උත්සවයට සහභාගී වීමු" කියනව ඒකෙ අමුතු ලස්සනක් තියෙන නිසාද මන්ද. ඒක "අපි" වෙන්න ඕනෙ කියල මතක නැතුව. මේව බොහොම ප්‍රසිද්ධ නිවේදක - නිවේදිකාවො, පුවත්පත් කලාවේදීන් සහ නොයෙකුත් වග කිවයුතු අය පාවිච්චි කරනව කිසිම වැරැද්දක් පිළිබඳ දැනීමකින් තොරව. එයාල එහෙම කියපුවාවෙ...

අපි පටන් ගනිමුද හරි දේ?

මම මට හරිය කියල හිතෙන විදියට තමයි හැමතැනම; පොඩි කමෙන්ට් එකක පවා, භාෂාව පාවිච්චි කරන්නෙ. මගෙත් වැරදි අනන්ත ඇති. ඒත් මට සැක සහිත තැනකදි ආදර්ශයක් ලබාගන්න තැනක් ඇත්තේම නැති තරම්, තියෙනවනම් අතේ ඇඟිලි ගානටත් අඩුයි!

අනේ අපි හරි දේ කරමු.

ටයිප් කරන්න නම් ටිකක් අමාරුයි තමයි. ඒත් පුරුදු උනාම හරියනවා.

මොන භාෂාවක් උනත් නියම විදියට ඉගෙන ගෙන පාවිච්චි කරන එකයි වටින්නෙ. එහෙම නේද?
අපි හරියට සිංහල භාවිතා කරන්න පටන් ගනිමුද බ්ලොග් වලින්වත්?

Tuesday, May 11

මා සිත් ගත් කවි - 1.

කවිකාර පවුලකින් පැවත ආවත්, මට ඉස්සර මේ ලෝකෙ කවියක් ලියාගන්න බෑ.
:-(
ඒත් යංතං දනි පනි ගාල දැන්නම් කොහොම හරි හතර පදේ ගැට ගහගන්න පුළුවං.
:-)
මං කවි ලියන්න ඉගෙන ගත්ත හැටිත් ටිකක් දිග කතාවක්. ඒක පස්සෙ කියන්නම්කො.


මම පුංචි කාලෙ ජීවත් වුනේ එක්කො පොත් එක්ක නැත්නම් පරිසරයත් එක්ක. මිනිස්සු එක්ක හිටියෙ හරිම අඩුවෙන්. මගේ ළඟම යාළු මිත්‍රයො වුනෙත් පොත්, ගහ කොළ සහ සත්තු. ඒ කාලෙ මම අතට අහුවෙන හැම කොළ කෑල්ලම කියවනවා. ඔන්න ඔය අල්ල පනල්ලෙ තමයි මට කවි කියවන්න ලැබුණෙ. කවි රහ වැටුනම හොය හොය කියෙව්වා. කවි පොත්, කවි කොළ, කවි මඩු එකී නොකී සෑම කවියක්ම.

කවි කොළ තමා මරු. ඒ කාලෙ ඔය අද්භූත මිනී මැරුමක් හරි ඔය මොකක් හරි අපරාධයක් හරි අහන්න ලැබුණම 'රත්තරං නාළිකාවෙ' වාගෙ මහා පරිමාණෙන් විකුණං කෑවෙ නෑනෙ. ඔය කවි කොළයක් දෙකක් ගහල රුපියල් 5 කට 10 කට විකුණනවා. මුළු සංතෑසියම දෑහින් දැක්කා වාගෙ රස කරල කියල තියෙනව නොවැ. හරි සිද්දිය හිතා ගන්න නම් ඉතින් තාර බර ඇරල ගන්න ඕන. ඒත් ඉතින් කවි නම් හරිම රහයි.

අනික් ජාතිය තමා කවි මඩු. වෑරලස් එක කනේ තියාගෙන පැල් බැඳං අහන් ඉන්නෙ. මට තවම මතක තියෙන සමහර කවි තියෙනවා.

ෂාහ්..... කියල වැඩක් නෑ. ඒව මෙතන දැම්මොත් සමහර විට අපවාද අහන්ටත් වෙයිද දන්නෑ. තව කවි ඇති, ගෙදර ගියාම හොයල බලල දාන්නම්.

අද දාන්නෙ, කියවපු කවි අතරින් හැමදාම මතක තියෙන විදියට මගෙ හිතට වැදුණු කවි වලින් සමහරක්.

වන මල් පියලි විල්ලුද බුමුතුරුණු උඩ
යන මිනිහෙකුගෙ ගමනින් නැහැ ලොවට වැඩ
ඇණ උල් තියුණු ගල් මුල් වල මුණත මැඩ
පැන යන ගමන හිතවත කොපමණද හැඩ
෴ඇස්. මහින්ද හිමි. 'අපේ ඉදිරි ගමන' ෴ වගෙයි මට මතක

ගෙනියන දෙයකුත් හිස පිට බරකුත් නොමැතිව නිදහස් තැනක වැටී
තනියම ඉන්නට රිසි තැන යන්නට නුපුරුදු වී නැඟ කඳුළු කැටී
නොනිමෙන ගින්නක් වැනි තණ්හාවෙන් බිය සැක බව හදවතෙහි ගැටී
මිනිසුන් ගේ දොර අගුළු දමාගෙන මට පුදුමයි දුක් විඳින හැටී
෴ පී. බී. අල්විස් පෙරේරා. (පාදඩයා)෴

දුක් කම් කටොළු යම කාලය මැතිරෙද්දෙන්
යක් බූ පිසස් අකණිට තෙක් වටලද්දෙන්
දක්වා පුරුදු රණකාමය එපුරුද්දෙන්
ලක් කළ තැනට යමු මේ අනතුරු මැද්දෙන්

අනතුරු විපත් හිරිහැර නුදුරු සිත ගත
මොන කරුණකට වත් යොමු කරනු යුතු නැත
සණගල නොගෑ නොසහන එගල අසිපත
රණ කෙළි පිණිස හොඳදැයි සිතනු හිතවත

කඩු දුනු කිණිසි සවිබල මන් මදින් දැපී
මුඩු මැත දොඩන රුපු හමුදා සමඟ හැපී
කැඩුනොත් කැඩේවා අඬු පඬු දෙකට කැපී
අඩුවක් නොකොට යමු යන මේ ගමන අපී

විස විදි අවිද සවිබල වූ තැනදි ලොපේ
පැසසුම් පඬුරු නිල තල මඟ දිගට පිපේ
ඇස නොහෙලන්න රැවටී ඒ නිසරු ඔපේ
අසරණ සරණ සඳහයි මේ ගමන අපේ
෴ඇස්. මහින්ද හිමි. (අපේ ඉදිරි ගමන)෴

කිවිඳෙකු ලයේ ලේ වැගිරෙන හඳපානේ
සිතුවිලි ළඳුන් ඇවිදින් ගම යනවානේ
රන්වන් තුඩින් කවි ලියැවෙන මගෙ පෑනේ
අවසන් කවිය අවසන් නැත අවසානේ
෴ඩෝල්ටන් අල්විස්.෴
මේක නම් කවි මඩුවක කියාපු එකක් වගෙයි මතක. කිව්වෙ කවුද කියල මතකත් නෑ. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. මේක තවත් කවියෙකුට කියාපු එකක්. මේ දෙන්නම බොහොම ප්‍රසිද්ධ කවි කාරයො.

ඇඟ පත කළුය, ලොකු උඩු රැවුලකි මූණේ
රැයකදි එහෙම දුටුවොත් බය වෙනවානේ
කට - රත්මලානේ, දත් ටික - අඟුලානේ
මොහු පිටකොටුවෙ යනවිට බඩ මරදානේ!!!

කොහොමද වැනුම?

කාල වරෙංකො.....!!!!!

මේ තියෙන්නෙ 'අද ලක් මවගේ පුත්තු' කියන කවි පන්තිය. ඇස්. මහින්ද හාමුදුරුවංගෙ.

෴ඉතිරිය පසුවට.....෴


Tuesday, May 4

කාටද මතක? උපාලි ධනවලවිතාන - 22 වන ගුණානුස්මරණය අදයි!

අදට හරියටම වසර 22කට පෙර දැයෙන් සමුගත් සොඳුරු කලාකරුවෙකි, උපාලි ධනවලවිතාන. ඔහු ගැන අද බොහෝ දෙනෙක් නොදන්නා හැඩයි. ඔහු ගැන යන්තමින්වත් සඳහනක් කෙරුණා නම් ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයෙන් පමණි.



රණ දෙරණ 
මිහිදුම් සිහින
අම්මේ මට සමාවෙන්න
ගෙදර බුදුන් අම්මා

වැනි චිත්‍රපට බිහිවූයේ ඔහුගේ පෑන් තුඩිනි.
හත් වළල්ල කන්ද කපා 
මුව හසරැළි
උදුම්බරා මනාලියේ
රන් සඳ හස කැන්
පෙර එක දවසක
සුදු වත කමලේ

ඇතුළු තවත් සරල ගීත ගණනාවක්ද ඔහු අතින් බිහි විය.

1988 මැයි 4 වැනිදා අප අතරින් සමුගත් කලාකරුවාණෙනි! මේ ඔබට උපහාරයකි.
සක්වළ එතෙරට ඇසෙනා 
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා කරවන
එකම හඬයි අම්මා...
මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා...


කල්ප කාල දිගු ගමන් තලාවේ
ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කරපිට හිඳුවා එගොඩට පීනා
සමුදුර තරණය කරලා
මවකගෙ මුවගින් විවරණ ලැබුවා
බුදුහිමි බුදුබව පතලා


සුරංගනාවන් පැල් බැඳ අහසේ
දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
රතු ලේ කිරි කළ පින් මහිමයටයි
අම්මාවරු දුක් ගන්නේ....

ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමයි උපදින්නේ!

අහන්න


ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ විශාරද නන්දා මාලනී

සංගීතය - සරත් දසනායක

රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ "ගෙදර බුදුන් අම්මා" චිත්‍රපටයෙනි.

"ස්වර්ණ සංඛ" හොඳම ගායනයට හිමි සම්මානය.

Sunday, May 2

විරහවට මතුවුණු කවි

මේ දවස් වල හැමෝම කවි ගැන කතා වෙනවනෙ. ඉතින් මාත් හිතුව කවියක් දාන්න.

මම නම් විශ්වාස කරන්නෙ කවි කියන්නෙ 'ලියන්න' පුළුවන් දෙයක් නෙවෙයි 'ලියවෙන්න' ඕන දෙයක් කියල. අනික මට කවියක් ලියන්න ඕන කියල හිතුවට ලියන්නත් බෑ. ඒකටත් මං හිතන්නෙ වෙලාවක් තියෙනව. හොඳට හිතට වැදුනම නම් ලියවෙනව පට ගාල.

ඕකෙන් මේකෙන් මට කවි මඩුවට එකතු වෙන්නත් බයයි; හදිස්සියට ලියවුනේ නැත්නම්!

දැනුත් ලියවෙන්නෙ නැති හන්ද පරණ 'සිතුවිලි පොතෙන්' එකක් ඉස්සුව.

මේක බොහොම කාලෙකට ඉස්සර මගෙ අතින් ලියවෙච්ච එකක්......

ලිව්වෙ ඇයි කියල නම් අහන්න එපා.......



පසුබිම් පිංතූරය ගත්තෙ: මෙතැනින්

සඳ


විනිවිද


ලද


යනවද



බොඳවී


මුසුවී


තනිවී


හිමිවී



මොහොතේ


වැකෙතේ


වරතේ


නොවැටහෙතේ