මේකත් මාරයාගේ හෝරාවට ලියන්න ඕන උන කමෙන්ට් එකක්. සමාවෙලා බලන සේක්වා.
හ්ම්ම්.... මගේ වයස 8 දි වීරයා.
එයාගෙ පොත් හතළිස් ගානකින් ඒ කාලෙ මම කියෙව්වා 15ක් විතර. 
- උලමගෙ රාත්‍රිය
- දොඹගල නිධානය
- බෝදිලිමාගේ සාපය
- සක්වළ වහල්ලු
- දෝන ලුවිසා සාධනීගේ කතාව (ස්වයං චරිතාපදානයක්)
- සිංහරාජ වික්‍රමය
ඒ කාලෙ ජීවත් උනේ නිදන් වදුලු, උලමො, බෝදිලිමො, ශෘංගීධයො, සාරුවො එක්ක....
ඕවයින් පටන් අරන්,
- වැහි දවස
- කතලුගල අන්දරය
- පරෙවි පොකුණ
- හංස ගීතය
- කුරුළු තලාව
- තාරකා යානය
- පවුරු බැඳි රාජ්‍යය
- සඳ වියරුව
- නංදනීගේ ස්වයංවරය
- සුදු හංසයෝ ඉගිළ ගියහ
වෙනකම්ම කියෙව්ව. පස්සෙ සෙට් 1න් බහුතරයක් අවුරුදු 8 ක 10 ක ළමයෙකුට ගැළපෙන ඒව නම් නෙවෙයි. "වීරයගෙ පොත්නෙ"
;-)
ඉතින් කියෙව්ව.
ඒ කාලෙත් භද්‍රජී ඇමෙරිකාවෙ පොඩිඋංට ඉංග්‍රීසි උගන්නනව අද වගේම. හැම අවුරුද්දකම ලංකාවට ඇවිත් පොතක් හරි සින්දුවක් හරි පිට කරල තමා යන්නෙ. ඒ කාලෙ ගුවන් විදුලියෙ අයත් එයා නිවාඩුවට ආවම කොහොම හරි සාකච්ඡාවකට ගෙන්න ගන්නව.ඕක දැනං හිටපු මාත් කොහොම හරි වැඩ සටහන යන දවස දැන ගෙන ඉවර වෙනකන්ම අහන් ඉන්නව. රෑ 9 ට විතර පටං ගත්තම ඉවර වෙන්නෙ රෑ දොළහට විතර. ගෙදර හැමෝම නිදි. ඔය හොල්මන් කතා එහෙමත් කියනව අතරින් පතර. ......මහ රෑ, රැහැයියො බකමූණො කෑ ගහන සද්දෙ අස්සෙන් බයේ වෙවුල වෙවුල හරි මං කතාව අහං හිටිය. .....ඔන්න වීරයට තිබුණ ආදරේ තරම.
මුලින්ම පුස්තකාලෙ තිබිලා 'උලමගෙ රාත්‍රිය' අයිය ගෙනත් කියවද්දි මටත් කියවන්න ඕන උනා. එතනින් තමා ඔය වීරය හොයාගත්තෙ. අයියගෙන් පොත ඉල්ලල රණ්ඩු කළාට ඉතින් එයා කියවල ඉවර වෙනකන් ගන්නව බොරු. අනික ඉතින් මගෙ වැඩෙත් සාධාරණ නෑනෙ! එයානෙ පොත ගෙනාවෙ ඉස්සෙල්ලම! ඒ උනාට මාත් රණ්ඩු කෙක්ක පොඩි කාලෙ.
:-p
කොහොම හරි යන්තන් අයිය හවස් වෙනකොට පොත කියෝල ඉවරයි.
හා තමුසෙට ඕක කියවන්න වෙන්නෙ ඉතින් හෙට උදේට තමා. ඕක තමුසෙට බලන්න බෑ රෑට. බය වෙලාම චූ යයි. හූ හූ
මමත් අත අරින්න කැමති නෑ. කියවන්නම ඕන.
රෑට කාල එහෙම ඉවරවෙලා චිමිනි ලාම්පුවත් ළං කරගෙන මේසෙ ගාව මම වාඩි උනා. අම්මල නිදි. අයියත් හොරෙන් මගෙ දිහා බල බල නිදි වගේ ඉන්නව.
බය වෙලා පරදින්නත් බෑනෙ. මම හිමීට පොත පෙරලුවා. මම කොහොමත් පොතක් කියවද්දි හැඳින්වීම, පෙරවදන සහ පොතේ පස්ස පැත්තෙ තියෙන පසු වදනද මොකද්ද එකත් කියවලයි පොත කියවන්න පටන් ගන්නෙ.
බැලුව පලවෙනිම පිටුවෙ මොනවද තියෙන්නෙ කියල.
ආ... භද්‍රජී මහින්ද ජයතිලක, දිවත් උළුක් වෙනව
ම්ම්ම්....
මේ මොකද්ද තව යටින් තියෙන්නෙ
හත්වලාමෙ!!!!
මට කෑගැස්සුණ.
"හිත දුර්වල අය මෙය කියවීමෙන් වළකින්න. විශේෂයෙන් රාත්‍රී කාලයේ කියවන්නට උත්සාහ නොගන්න."
අර සිංහලෙන් කියනවනම් "viewer discretion is advised" වගේ එකක්. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වළු. අයියත් බලං ඉන්නව ඔලොක්කුවට.
ගමි සටන - එනු කඩුවට කියල පටන් ගත්ත කියවන්න, ඕන දෙයක් වෙද්දෙන් කීයල.
මම මොකටද බය වෙන්නෙ. මේක පොතක්නෙ. එදා රෑ උසට උසේ මිනිහෙක් එනව වගේ දැකල එකපාරම බය වෙලා දිව්වට, පස්සෙ ඒ කෙහෙල් කොලයක් හුළඟට වැනිල කියල මං හොයාගත්තනෙ පහුවදා උදේ. අනික වැරදිලා හරි බය උනොත් අම්මල පේන්න ඉන්නවනෙ.
ඔන්න මම කියවගෙන යනව. ඒක පුනරුත්පත්ති කතාවක්. මද්දුම බණ්ඩාර කුමාරයද කොහෙද උපදින්නෙ. එක එක හොල්මන්. ඇහැලෙපොලල මැරිච්ච විදිහටම තමා සෙට් එක දැනුත් මැරෙන්නෙ. බැරල් එකක ඔළුව ඔබාගෙන වැවේදි හුස්ම හිරවෙච්ච හැටි විඳින්න හදනව එහෙම නියමෙට ලියල තිබුණ. ඔය ලේ වැක්කෙරෙන සීන් එහෙම වෙන්නෙ උලමගෙ කෑගැහිල්ලත් එක්ක. හරී සනීපයි. ඒ මදිවට මට ඕව ඇත්තටම ඇහෙනව.
(ඒ කාලෙ අපේ ගේ ළඟ තව ගෙවල් තිබුණෙ නෑ. අල්ලපු ගේ තියෙන්නෙ හැතැප්ම බාගයක් වත් දුරින්. වටේට කැලේ. රෑට නරි හූ තියනව. කැලේ ඈතින් උලම කෑ ගහනව..... හප්පා.)
පපුව කටේ දාගෙන කොහොම හරි මම කියෙව්ව.
ඕන්න එදා තමයි මගෙ තිබ්බ බය ඇරිල ගියෙ.
එළියක් නැතිව නිදාගන්න බෑ කියල අඬපු මං........!
ඔය සිද්දියෙන් පස්සෙ මට පොර මාර වීරයෙක්. දැන් ඉතින් මම පොතේ තිබ්බ හෝඩුවාවල් ඔස්සෙ ගිහින් අනිත් පොතුත් හොයා ගෙන කියවනව. ඒ කාලෙ වීරයෙක් ලැබුනම අල ගිය මුල ගිය තැන් හැම එකම හොයන 1 සිරිතනෙ. එතකොට තමා එයාගෙ ගැන ඔයා කියපු දේවල් දැනගන්න ලැබුණෙ. රේඩියො එකේ අහම්බෙන් යන සින්දුවක් අහගන්න, 'රේඩියෝ එක දාගෙන වැඩ කරන්න' පුරුදු උනේ.
ඒ කාලෙ මං ආසම සින්දුව "කොකුම් හර කසී සළු එපා නම් ප්‍රියේ"
"බට්ටිත්තෝ" එහෙම ආවෙ ඊට අවුරුදු ගානකට පස්සෙ. සිරස රස රිසි ගී වලින් සෑහෙන ජනප්‍රිය උනා. පේරා කැම්පස් එකේ කතාවක් කියලයි අහල තියෙන්නෙ. "ගඟ ලඟ පෙම් මඟ පාළු වෙලා" පොතේ තියෙන්නෙ කතාව. මම නම් කියවල නෑ.
වීරය මැරුණෙත් වීරයගෙම කතාවක් ගැන ටිකක් විවෘතව හිතල බලපු හින්දා.
වීරයා මැරුණු ස්ථානය: ගුවන් විදුලි සාකච්ඡාවක්. මහ රෑ ගියපු.
ඔහුගේ ප්‍රතිපත්තිත්, ජීවන දැක්මත් ගැන ඔහුගේම කතාවත්, කෘතීනුත් එකිනෙකට පරස්පරයි කියල දැනුණු වෙලාවෙ තමා එයාගෙ අන්තිම හුස්ම පොද වා තළයට මුසු වෙලා ගියේ.
ඒ මගේ පළමු සහ එකම වීරයා. එදායින් පස්සෙ මට හිටපු එකම වීරයා මම විතරයි.
ඔයාගෙ තවමත් වීරයෙක් නිසා මම ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. කොහොම උනත් කලා කෘතියත්, කලා කාරයා සමාජයට දෙන පණිවිඩයත්, ඔහුගේ ජීවන රටාව තුළින් පිළිබිඹු විය නොහැකිය කියන එක ඒ කාලෙදිම ප්‍රත්‍යක්ශ වීමම මම ලොකු ජයග්‍රහනයක් විදියටයි දකින්නෙ.
සිගරැට් එක කටේ ගහගෙන ඉඳල හාමුදුරුවන්ගෙ චරිතයට පණ පොවන්න පුළුවන් 'කලාකාරයො'......
මට ඕක නොතේරුණ හැටි ඒ කාලෙ!!!
ප.ලි.
සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. මොකද මම ඔහුව ළඟින් ආශ්‍රය කරල නැති නිසා. ඒත් ඔහුගේ ඒ කෘතීන්ගෙන් පෙනුණු ප්‍රතිරූපයත් ගුවන් විදුලියෙන් ඔහු පෙන්නන්න හදපු ප්‍රතිරූපයත් ඉඳුරාම දෙකක් කියල මගේ ටිකිරි මොළේටත් ඒ කාලෙ තේරුණා.
ඒක මගේ දැක්ම සම්බන්ධ දෙයක්නෙ.
ඒත් කවුරුහරි උඩින් පල්ලෙන් බැලුවොත් ඔහුගේ විශිෂ්ට කලා නිර්මාණ වලටයි හැකියාවන්ටයි අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒක නිසා වැරදියට වටහා ගන්න එපා.
ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත
එවන් අනෙක් දෙයකට අනෙකෙක් සමත
කියන එක අතේ පැළවෙන බොරුවක් කරපු දුර්ලභ ගණයේ තවත් (සුන්දර ) මිනිහෙක් තමයි ඔහු.