Thursday, April 29

බිරින්දෑවරුන්ට සෙනෙහසින්!

වැවක් පුරා එක සීරුවට සුදු නෙළුම් පිපුණැයි මට හිතුණා
එදා නුඹ ඇහැ ගැහුණු දොහේ
අමාවක දා හඳ පායාලයි එදා මට හිතුණා.

(චන්ද්‍රිකා සිරිවර්ධන - එඩ්වඩ් ජයකොඩි)

අහන්න


කොහේදෝ ගුවන් විදුලියකින් නැඟුනු හඬ මාව අතීතයේ අතරමං කළා වගෙයි මට දැනුනෙ. ඒ මට ඈ මුණගැහුණු මුල්ම දවස්.


මොකක්දෝ අමුතුම හැඟීමක් හිතට ඇතුල්වුනේ ඇයි? දැන් අපි වෙනස් වෙලා හින්දද? නෑ නෑ අපේ ආදරය තවමත් එහෙමමයි නේද? ඇත්තටම එහෙමද? මං ඈ ගැන හිතනව මදි නේද?


............

ඈ පුරුදු ජීවිතයට ආයුබෝවන් කියල මං එක්ක ජීවත් වෙන්න ගත්ත මුල්ම දවස්.


ඒ කාලෙ ඈ මොන තරම් පාළුවෙන් ඉන්න ඇත්ද? මා ඈ හමුවනතුරුත්, ඈ මා එනතුරුත් පෙරුම් පුරපු හැටි මට මතක් උනා.



සඳ එළිය ගලයි - සයුර දිගේ - ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ - සිතිජ ඉමේ - හිතට දුක දැනේ
මඳ පවන නිසල වී - රළ පෙළට තුරුළු වී
වැහි ළිහිණි රෑන් පමණි - මගේ දුකට හඬන්නේ

ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුළු සිරුර ගිනි ගනී//
රළ නඟන අඳෝනා - හද බිඳෙන වේදනා
පාළු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ
සඳ එළිය ගලයි.....

දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොළඟම නැඟි නැඟී//
දුර ඇදෙන ඔරු බඳේ - පිණි කඳුළු බිඳු රැඳේ
මාගෙ හදවතේ දුක ඔබ පමණි නිවන්නේ
සඳ එළිය ගලයි.....

(සමිතා මුදුන්කොටුව - වික්ටර් රත්නායක, වික්ටර් රත්නායක)

අහන්න

...........

පුංචි පුංචි අඩ දබර වලදි මං කතා කරපු හැටි වැරදියි නේද? ඈ නැතුව මං කොහොමද ඉන්නෙ? මං නැතුව ඈ කොහොමද ඉන්නෙ?.......
කළේ පැන් ඇත - නැවුම් රහ නැත - මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කරවී - මොකද මන්දා ළිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත - මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහකොළ සුළඟ ඇත එද - සිහිල කොයි අත ගියාදෝ
කෝළ බව මුසු සිනා හඬ නැත - සවන් බිහිරිව ගියාදෝ
කළේ පැන් ඇත....

පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑගම් ගොහින් ///

(සුනිල් එදිරිසිංහ/කේ. ඩී. කේ. ධර්මවර්ධන/රෝහණ වීරසිංහ)

අහන්න

..........

අපේ ජීවිත වලට වසන්තය උදා කරපු අපේ පුංචි පැටවු ටික....
උං මං එනකන් බලා ඉන්න හැටි, පෙරළි කරනකොට ඈ අමාරුවෙන් ඔවුන් පරක් කරන හැටි මට මතක් වුණේ උගුරෙ මොනවාදෝ හිර වෙද්දි.
රුක් අත්තන මල මුදුනේ
බමරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් - කවුරුද එන්නේ

මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා - පියමං කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ
රුක් අත්තන මල මුදුනේ.....

පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මියයන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් - කවුරුද එන්නේ
රුක් අත්තන මල මුදුනේ.....

(නන්දා මාලනී/මහින්ද අල්ගම/නන්දා මාලනී)

අහන්න

ඈ එහෙම කියා දෙන්න ඇති.

පැටවුන්ට ගුරු හරුකම් දුන්නෙ මම නොවෙයිනෙ.....

..............

පොඩිඋං විතරද? මං ගැනත් හැමදේම හොයා බැලුවෙ ඈ නේද කිසිම කෙඳිරිල්ලක් වත් නොනඟා???? ඈ මේ සියළුම දේවල් කළේ කොහොමද දෙයියනේ?


ඇයි මට නොපෙනුණේ......????

මං මහ නරුමයෙක්, ගුණමකුවෙක්....



අතින'ත ගත් දා ඉඳලා
තම හිමිට සරණ - දූ පුතුන් සරණ කළ
බිරින්දෑවරුන් සංසාරේ
බුදුවරු වෙන්නද පෙරුම් පුරන්නේ//
බිරින්දෑවරුන් සංසාරේ //

කරදර ලිප ලා - උයා පිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා
අතින'ත ගත් දා ඉඳලා....

කඳුළැලි වියලා - හදතුළ සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුණ පමණක් මොලවනවා
අතින'ත ගත් දා ඉඳලා....

(සේනානායක වේරලියද්ද/මහින්ද කේ. ප්‍රේමසිරි/සේනානායක වේරලියද්ද)

අහන්න

...............

ඈ නොහිටින්න මං තනියම මොනව කරාවිද?
හැමදේකටම දිරිය ශක්තිය උනු ඈ........
සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මඟ අහුරන දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මං සල්වල විඩා නිවා
ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ.....

(එඩ්වඩ් ජයකොඩි /තිස්සසිරි පෙරේරා/පී. බී. කවිරත්න)

අහන්න
..............

සොඳුර, මෙතුවක් කල් ඔබ ගැන නොසිතුවාට මට සිය දහස් වාරයක් සමාවෙන්න.

මගේ මුළු ලෝකයම එළිය වූයේ ඔබගෙනි......
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින//


මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
නුඹ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්
උතුරයි ම'සිත තව නුඹ වෙත තුරුළු වෙමින්


බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

(අමරදේව/සුනිල් ආරියරත්න/රෝහණ වීරසිංහ )

අහන්න

---***---

************************************
හඬන පොඩි පුතු නළව ගන්නට නිදන මට රහසින්
*************************************
**************************************


ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින්
වහා දස අත සුවඳ පිරුණා ඔබේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැඟු රළු පරළු හඬ අතරින්
ඔබේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්


මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්///


(සුනිල් එදිරිසිංහ)


මේක ලියන්න හිතුනෙ මං ළඟ තිබුණ පරණ කැසට්1ක් මතක් වෙලා. මං පුංචි කාලෙ ආසම සින්දු එකතු කරල කාණ්ඩ වලට බෙදල කැසට් වෙන වෙනම තියල තිබුණ. ජීවිතේටම දෙපාරක් විතරක් අහපු සින්දුවක් මතක් උනා ඒ එක්කම. මේක මම එදා ඉඳලම හොයන එකක්. ඒත් හම්බ උනේ නෑ. රේඩියෝ එකේ තමා දෙපාරම ගියෙ. දෙපාරම සංගීතය ඇහෙද්දිම දුවල ගිහිං පොතයි පෑනයි ගෙනාවත් ඒ වෙනකොට මුල් පද කීපය ඉවරවෙලා. ඒ නිසා මුල් පද 3ක් මට අමතකයි. ඒත් අනිත් ටික මතක විදිහට අකුරු කළා. ඔය අන්තිමට දාල තියෙන්නෙ ඒක තමා.


අනේ කවුරුහරි පිංවතෙක් ඉන්නව නම් මට මේක හොයා ගන්න උදව් කරන්න.


මේ එකම එක සින්දුවක් ගැනවත් මම මුකුත්ම කියන්නෙ නෑ. ඒක ඔයාලම අහල විඳගන්න.


මට වඩා ඉතාමත් හොඳට, මට පේනවට වඩා දහසක් දේ මේ සින්දු කියාවි.

Wednesday, April 28

භද්‍රජී මහින්ද ජයතිලක නොහොත් මගේ කුඩා කල වීරයා

මේකත් මාරයාගේ හෝරාවට ලියන්න ඕන උන කමෙන්ට් එකක්. සමාවෙලා බලන සේක්වා.


හ්ම්ම්.... මගේ වයස 8 දි වීරයා.


එයාගෙ පොත් හතළිස් ගානකින් ඒ කාලෙ මම කියෙව්වා 15ක් විතර. 




  • උලමගෙ රාත්‍රිය

  • දොඹගල නිධානය

  • බෝදිලිමාගේ සාපය

  • සක්වළ වහල්ලු

  • දෝන ලුවිසා සාධනීගේ කතාව (ස්වයං චරිතාපදානයක්)

  • සිංහරාජ වික්‍රමය


ඒ කාලෙ ජීවත් උනේ නිදන් වදුලු, උලමො, බෝදිලිමො, ශෘංගීධයො, සාරුවො එක්ක....


ඕවයින් පටන් අරන්,




  • වැහි දවස

  • කතලුගල අන්දරය

  • පරෙවි පොකුණ

  • හංස ගීතය

  • කුරුළු තලාව

  • තාරකා යානය

  • පවුරු බැඳි රාජ්‍යය

  • සඳ වියරුව

  • නංදනීගේ ස්වයංවරය

  • සුදු හංසයෝ ඉගිළ ගියහ


වෙනකම්ම කියෙව්ව. පස්සෙ සෙට් 1න් බහුතරයක් අවුරුදු 8 ක 10 ක ළමයෙකුට ගැළපෙන ඒව නම් නෙවෙයි. "වීරයගෙ පොත්නෙ"


;-)


ඉතින් කියෙව්ව.


ඒ කාලෙත් භද්‍රජී ඇමෙරිකාවෙ පොඩිඋංට ඉංග්‍රීසි උගන්නනව අද වගේම. හැම අවුරුද්දකම ලංකාවට ඇවිත් පොතක් හරි සින්දුවක් හරි පිට කරල තමා යන්නෙ. ඒ කාලෙ ගුවන් විදුලියෙ අයත් එයා නිවාඩුවට ආවම කොහොම හරි සාකච්ඡාවකට ගෙන්න ගන්නව.ඕක දැනං හිටපු මාත් කොහොම හරි වැඩ සටහන යන දවස දැන ගෙන ඉවර වෙනකන්ම අහන් ඉන්නව. රෑ 9 ට විතර පටං ගත්තම ඉවර වෙන්නෙ රෑ දොළහට විතර. ගෙදර හැමෝම නිදි. ඔය හොල්මන් කතා එහෙමත් කියනව අතරින් පතර. ......මහ රෑ, රැහැයියො බකමූණො කෑ ගහන සද්දෙ අස්සෙන් බයේ වෙවුල වෙවුල හරි මං කතාව අහං හිටිය. .....ඔන්න වීරයට තිබුණ ආදරේ තරම.


මුලින්ම පුස්තකාලෙ තිබිලා 'උලමගෙ රාත්‍රිය' අයිය ගෙනත් කියවද්දි මටත් කියවන්න ඕන උනා. එතනින් තමා ඔය වීරය හොයාගත්තෙ. අයියගෙන් පොත ඉල්ලල රණ්ඩු කළාට ඉතින් එයා කියවල ඉවර වෙනකන් ගන්නව බොරු. අනික ඉතින් මගෙ වැඩෙත් සාධාරණ නෑනෙ! එයානෙ පොත ගෙනාවෙ ඉස්සෙල්ලම! ඒ උනාට මාත් රණ්ඩු කෙක්ක පොඩි කාලෙ.


:-p


කොහොම හරි යන්තන් අයිය හවස් වෙනකොට පොත කියෝල ඉවරයි.



හා තමුසෙට ඕක කියවන්න වෙන්නෙ ඉතින් හෙට උදේට තමා. ඕක තමුසෙට බලන්න බෑ රෑට. බය වෙලාම චූ යයි. හූ හූ

මමත් අත අරින්න කැමති නෑ. කියවන්නම ඕන.


රෑට කාල එහෙම ඉවරවෙලා චිමිනි ලාම්පුවත් ළං කරගෙන මේසෙ ගාව මම වාඩි උනා. අම්මල නිදි. අයියත් හොරෙන් මගෙ දිහා බල බල නිදි වගේ ඉන්නව.


බය වෙලා පරදින්නත් බෑනෙ. මම හිමීට පොත පෙරලුවා. මම කොහොමත් පොතක් කියවද්දි හැඳින්වීම, පෙරවදන සහ පොතේ පස්ස පැත්තෙ තියෙන පසු වදනද මොකද්ද එකත් කියවලයි පොත කියවන්න පටන් ගන්නෙ.


බැලුව පලවෙනිම පිටුවෙ මොනවද තියෙන්නෙ කියල.



ආ... භද්‍රජී මහින්ද ජයතිලක, දිවත් උළුක් වෙනව

ම්ම්ම්....

මේ මොකද්ද තව යටින් තියෙන්නෙ

හත්වලාමෙ!!!!


මට කෑගැස්සුණ.


"හිත දුර්වල අය මෙය කියවීමෙන් වළකින්න. විශේෂයෙන් රාත්‍රී කාලයේ කියවන්නට උත්සාහ නොගන්න."


අර සිංහලෙන් කියනවනම්  "viewer discretion is advised" වගේ එකක්. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වළු. අයියත් බලං ඉන්නව ඔලොක්කුවට.


ගමි සටන - එනු කඩුවට කියල පටන් ගත්ත කියවන්න, ඕන දෙයක් වෙද්දෙන් කීයල.



මම මොකටද බය වෙන්නෙ. මේක පොතක්නෙ. එදා රෑ උසට උසේ මිනිහෙක් එනව වගේ දැකල එකපාරම බය වෙලා දිව්වට, පස්සෙ ඒ කෙහෙල් කොලයක් හුළඟට වැනිල කියල මං හොයාගත්තනෙ පහුවදා උදේ. අනික වැරදිලා හරි බය උනොත් අම්මල පේන්න ඉන්නවනෙ.

ඔන්න මම කියවගෙන යනව. ඒක පුනරුත්පත්ති කතාවක්. මද්දුම බණ්ඩාර කුමාරයද කොහෙද උපදින්නෙ. එක එක හොල්මන්. ඇහැලෙපොලල මැරිච්ච විදිහටම තමා සෙට් එක දැනුත් මැරෙන්නෙ. බැරල් එකක ඔළුව ඔබාගෙන වැවේදි හුස්ම හිරවෙච්ච හැටි විඳින්න හදනව එහෙම නියමෙට ලියල තිබුණ. ඔය ලේ වැක්කෙරෙන සීන් එහෙම වෙන්නෙ උලමගෙ කෑගැහිල්ලත් එක්ක. හරී සනීපයි. ඒ මදිවට මට ඕව ඇත්තටම ඇහෙනව.


(ඒ කාලෙ අපේ ගේ ළඟ තව ගෙවල් තිබුණෙ නෑ. අල්ලපු ගේ තියෙන්නෙ හැතැප්ම බාගයක් වත් දුරින්. වටේට කැලේ. රෑට නරි හූ තියනව.  කැලේ ඈතින් උලම කෑ ගහනව..... හප්පා.)


පපුව කටේ දාගෙන කොහොම හරි මම කියෙව්ව.


ඕන්න එදා තමයි මගෙ තිබ්බ බය ඇරිල ගියෙ.


එළියක් නැතිව නිදාගන්න බෑ කියල අඬපු මං........!



ඔය සිද්දියෙන් පස්සෙ මට පොර මාර වීරයෙක්. දැන් ඉතින් මම පොතේ තිබ්බ හෝඩුවාවල් ඔස්සෙ ගිහින් අනිත් පොතුත් හොයා ගෙන කියවනව. ඒ කාලෙ වීරයෙක් ලැබුනම අල ගිය මුල ගිය තැන් හැම එකම හොයන 1 සිරිතනෙ. එතකොට තමා එයාගෙ ගැන ඔයා කියපු දේවල් දැනගන්න ලැබුණෙ. රේඩියො එකේ අහම්බෙන් යන සින්දුවක් අහගන්න, 'රේඩියෝ එක දාගෙන වැඩ කරන්න' පුරුදු උනේ.


ඒ කාලෙ මං ආසම සින්දුව "කොකුම් හර කසී සළු එපා නම් ප්‍රියේ"


"බට්ටිත්තෝ" එහෙම ආවෙ ඊට අවුරුදු ගානකට පස්සෙ. සිරස රස රිසි ගී වලින් සෑහෙන ජනප්‍රිය උනා. පේරා කැම්පස් එකේ කතාවක් කියලයි අහල තියෙන්නෙ. "ගඟ ලඟ පෙම් මඟ පාළු වෙලා" පොතේ තියෙන්නෙ කතාව. මම නම් කියවල නෑ.



වීරය මැරුණෙත් වීරයගෙම කතාවක් ගැන ටිකක් විවෘතව හිතල බලපු හින්දා.


වීරයා මැරුණු ස්ථානය:     ගුවන් විදුලි සාකච්ඡාවක්. මහ රෑ ගියපු.


ඔහුගේ ප්‍රතිපත්තිත්, ජීවන දැක්මත් ගැන ඔහුගේම කතාවත්, කෘතීනුත් එකිනෙකට පරස්පරයි කියල දැනුණු වෙලාවෙ තමා එයාගෙ අන්තිම හුස්ම පොද වා තළයට මුසු වෙලා ගියේ.


ඒ මගේ පළමු සහ එකම වීරයා. එදායින් පස්සෙ මට හිටපු එකම වීරයා මම විතරයි.


ඔයාගෙ තවමත් වීරයෙක් නිසා මම ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. කොහොම උනත් කලා කෘතියත්, කලා කාරයා සමාජයට දෙන පණිවිඩයත්, ඔහුගේ ජීවන රටාව තුළින් පිළිබිඹු විය නොහැකිය කියන එක ඒ කාලෙදිම ප්‍රත්‍යක්ශ වීමම මම ලොකු ජයග්‍රහනයක් විදියටයි දකින්නෙ.


සිගරැට් එක කටේ ගහගෙන ඉඳල හාමුදුරුවන්ගෙ චරිතයට පණ පොවන්න පුළුවන් 'කලාකාරයො'......


මට ඕක නොතේරුණ හැටි ඒ කාලෙ!!!



ප.ලි.


සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. මොකද මම ඔහුව ළඟින් ආශ්‍රය කරල නැති නිසා. ඒත් ඔහුගේ ඒ කෘතීන්ගෙන් පෙනුණු ප්‍රතිරූපයත් ගුවන් විදුලියෙන් ඔහු පෙන්නන්න හදපු ප්‍රතිරූපයත් ඉඳුරාම දෙකක් කියල මගේ ටිකිරි මොළේටත් ඒ කාලෙ තේරුණා.
ඒක මගේ දැක්ම සම්බන්ධ දෙයක්නෙ.


ඒත් කවුරුහරි උඩින් පල්ලෙන් බැලුවොත් ඔහුගේ විශිෂ්ට කලා නිර්මාණ වලටයි හැකියාවන්ටයි අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒක නිසා වැරදියට වටහා ගන්න එපා.



ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත

එවන් අනෙක් දෙයකට අනෙකෙක් සමත

කියන එක අතේ පැළවෙන බොරුවක් කරපු දුර්ලභ ගණයේ තවත් (සුන්දර ) මිනිහෙක් තමයි ඔහු.

Sunday, April 25

කමෙන්ට් කරන්න ගිහිල්ල ඇදගෙන නෑම නොහොත් මගේ පළමු පෝස්ට් එක

'හා හා පුරා' කියල මේකෙ ලියන්න මට සිද්ධ උනේ 'මගේ මරණය'ගෙ මෙන්න මේ පෝස්ට් එක හින්ද. මෙතනින් බලන්න.

තිස්ස අයියත් කිව්ව නොවැ ලියන්න කියල. ඒත් ඉතින් මට ඉස්සෙල්ලම ලියන්න උනෙත් පරණ සින්දුවක් ගැන. තිස්ස අයියගෙ specialized area එක. මාත් කරන්නෙ කෑ පතේ පැහැරුවා වාගෙ වැඩමනෙ.

:-(

මේකනෙ කේස් එක. මං කාගෙ හරි බ්ලොග් එකක් කියෙව්වම ඒකට ලියන කමෙන්ට් එක මාගලක් විතර දික් වෙනවා. දැන් දෙපාරක්ම ඔය වගේ උනා. තවත් ලියල මං ගුටි කන්න කලිං මට හිතුන දිග වැඩි ඒව මේකෙ දානව කියල. එතකොට මගෙ ලින්ක් එක කමෙන්ට් එකේ දැම්මම ඔය කවුරු හරි නහර කාරයෙක් ඉන්නව නම් සහ ඌට ටිකක් විතර පිස්සු නම් ඔය ලින්ක් එකට කොටල මේකටත් හොට දාල යන්නෙ නැතැයි. මගෙ මොකෝ.

(ඒ උනාට ඉතින් ඔයාල මේ පැත්තෙත් ඇවිත් මටත් හොඳවයින් දෙක තුනක් කියල යනවට මාත් ටිකක් කැමතියි හොඳේ. ) මළා. හොඳවයින් කිව්වෙ හොඳ වචන ඈ. නරක වචන හෙමෙ නෙවෙයි ඕං.

හරි. දැං අපි එන්ටර් වෙමුකො කමෙන්ට් එකට. මේක ටී. එම්. ජයරත්න මහත්තයගෙ 'ඔරුව වසා වැලි පුරවා' කියන සින්දුව මතක් උනාම මගෙ හිතට ආපු දේ. ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න එක හොඳයි කියල මට හිතුණා.

මාගල වගේ දික් උනත් මේ ටික නං නොකියම බෑ. මොකද මේව ගැන හුඟක් අය දන්නෙත් නෑ. තව අවස්ථාවක් ආයෙ එයිද කියන්නත් බෑනෙ.
'මහියංගණේ රන් කොත' ට වඩා සමාජීය අවශ්‍යතාවයක් ඉටුකරපු ගීතයක් විදියටයි මම නම් දකින්නෙ. ඕක ප්‍රශ්නයක් වෙලා තිබුණෙ වැඩිපුරම කළු ගඟ ආශ්‍රිත ජනතාවට. කළු ගඟේ පහත් ප්‍රදේශවල් පොඩි වැස්සකටත් යටවෙන්න ගත්තෙ ගඟේ ඉහළ වැලි ගොඩදාන නිසා අතුරු ප්‍රතිඵලයක් විදියට ගං ඉවුර කඩා වැටිල ගඟ ගොඩ වීමෙන්. පස්සෙ රජයෙන් අනවසර වැලි ගොඩ දැමීමට තහංචි දැම්ම. ඒත් හොරෙන් හොරෙන් තාම ක්‍රියාත්මකයි. කොහොම හරි මෝය කටත් හාරල සෑහෙන වැඩ කිඩ ටිකක් දැම්මට පස්සෙ කළුතර-මතුගම-පානදුර ජනතාවට තරමක සහනයක් ආව.
ඒත් කළු ගඟ අවට දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බ හොඳම මාර්ගයක් තමා මේක. දවසෙ අන්තිමට අතට හම්බ වෙන ගාන සාපේක්ශව වැඩි උනේ ජීවිතයට තියෙන අවදානම බොහොම වැඩිනිසා. ක්‍රීඩා කරන කවුරුත් දන්නව ඇතිනෙ පිහිනුම් සහ කිමිදුම් කියන්නෙ ශරීර ශක්තිය යහමින් අවශ්‍යවෙන ක්‍රීඩාවන් බව. මේකටත් එහෙමයි.
කළු ගඟේ ඔරුවකිං හරි පාරුවකිං හරි එගොඩ වෙලා තියෙන කෙනෙක් දන්නව ඇති ඒක කොයි තරම් ගැඹුරුද කියල! පොඩි වැස්සකටත් හෝ ගාල ගඟ ගලන්න ගන්නව. කොයිවෙලේ සැඩ පාරක් එයිද කියල දන්නෑ. ඒ වගේමයි රෑ එළිවෙනකන් ගැඹුරු වතුරෙ කිමිදි කිමිදි වැලි කූඩ පුරවල උඩට එවන්න ඕනෙ.
කරන විදිය ඔය සින්දුවෙ අපූරුවට ලියල තියෙනව.
දවසක් ඔය විදියට ජීවත් වෙන මනුස්සයෙක් මට හම්බවෙල කිව්වෙ වතුර යට විනාඩි දහයකට වඩා ඉන්න බෑ. ඔරුවෙන් කාලක් විතර පුරවද්දි මාර මහන්සියි. වතුරෙදි හුස්ම හිරවෙලා මැරෙන්න යන්න වගේ එද්දිත් දත කාගෙන ඔරු 2-3 පුරවන්නෙ ගෙදර ඉන්න පොඩිඋං දෙන්නගෙ හිනා කටවල් මතක් කරගෙන හිතට දහිරිය අරගන්න හින්දයි කියල. මට ඔය සින්දුව මතක් වෙලා එවෙලෙ ඇඬෙන්න ආව.
ඒ මිනිස්සු විඳින දහදුක් තේරෙන්නෙ එක්කො මේ වගේ සින්දුවකිං නැත්තං අවුරුද්දකට ගිළිල මැරෙන මිනිස්සු ගාණෙන්!
කොළඹට වෙලා සැප විඳින, ඉස්කෝලෙං ගේන්න කියල වදකරන නිසා පොඩි එකා කන්නැති බව දැන දැනත් බත් ටික යවල බර්ගර්1ක් දෙන්න බැරිඋනානෙ කියල නැහෙන අපිට ඒ ටිකවත් තේරෙන්නෙ නෑ.
ඉන්ජිනේරුවෙකුගෙ ඇතුළෙ මිනිහෙක් ජීවත් වෙන හින්දද මන්ද මට ඔය රැවුලයි කැඳයි දෙකම බේර ගන්න පුළුවං විසඳුමක් නම් පේන්නෙ නෑ. අනේ මන්ද? මේකත් හරියට අලි - මිනිස් ගැටුම වගේ.

"ඔරුව වසා වැලි පුරවා - එගොඩ ගොඩේ ගං ඉම සොයලා

හිමිදිරියේ කාසි අතේ - පැදපල්ලා, පැදපල්ලා

සඳු දෙවියයි පාළු මකන්නේ

තරු එළියයි පාර කියන්නේ


රකුසු දියේ ගැඹුරේ කිමිදී

වැලි කන්දේ තෙත් පල හමුවී

කූඩ හදා උඩට එවා කඹයේ දවටා

කඹයෙන්මයි ගොඩට ඇදෙන්නේ

ඔරු බැම්මේ ඈතට දුවපාං


රිටි පොවලා වෙල්යොදවන්නේ

හෙට උදයේ හිරු එළියේ කාසි උනන්නේ

ගංගාවෙන් ජීවත් වෙන්නේ

ඔරුව වසා වැලි පුරවා - එගොඩ ගොඩේ ගං ඉම සොයලා

හිමිදිරියේ කාසි අතේ - පැදපල්ලා, පැදපල්ලා

සඳු දෙවියයි පාළු මකන්නේ

තරු එළියයි පාර කියන්නේ///
අහන්න මෙතනින්

තිස්ස අයියට මල් මිටක් සහ තුති ගොඩක් දෙනව මාව දිරිමත් කළාට