Tuesday, May 11

මා සිත් ගත් කවි - 1.

කවිකාර පවුලකින් පැවත ආවත්, මට ඉස්සර මේ ලෝකෙ කවියක් ලියාගන්න බෑ.
:-(
ඒත් යංතං දනි පනි ගාල දැන්නම් කොහොම හරි හතර පදේ ගැට ගහගන්න පුළුවං.
:-)
මං කවි ලියන්න ඉගෙන ගත්ත හැටිත් ටිකක් දිග කතාවක්. ඒක පස්සෙ කියන්නම්කො.


මම පුංචි කාලෙ ජීවත් වුනේ එක්කො පොත් එක්ක නැත්නම් පරිසරයත් එක්ක. මිනිස්සු එක්ක හිටියෙ හරිම අඩුවෙන්. මගේ ළඟම යාළු මිත්‍රයො වුනෙත් පොත්, ගහ කොළ සහ සත්තු. ඒ කාලෙ මම අතට අහුවෙන හැම කොළ කෑල්ලම කියවනවා. ඔන්න ඔය අල්ල පනල්ලෙ තමයි මට කවි කියවන්න ලැබුණෙ. කවි රහ වැටුනම හොය හොය කියෙව්වා. කවි පොත්, කවි කොළ, කවි මඩු එකී නොකී සෑම කවියක්ම.

කවි කොළ තමා මරු. ඒ කාලෙ ඔය අද්භූත මිනී මැරුමක් හරි ඔය මොකක් හරි අපරාධයක් හරි අහන්න ලැබුණම 'රත්තරං නාළිකාවෙ' වාගෙ මහා පරිමාණෙන් විකුණං කෑවෙ නෑනෙ. ඔය කවි කොළයක් දෙකක් ගහල රුපියල් 5 කට 10 කට විකුණනවා. මුළු සංතෑසියම දෑහින් දැක්කා වාගෙ රස කරල කියල තියෙනව නොවැ. හරි සිද්දිය හිතා ගන්න නම් ඉතින් තාර බර ඇරල ගන්න ඕන. ඒත් ඉතින් කවි නම් හරිම රහයි.

අනික් ජාතිය තමා කවි මඩු. වෑරලස් එක කනේ තියාගෙන පැල් බැඳං අහන් ඉන්නෙ. මට තවම මතක තියෙන සමහර කවි තියෙනවා.

ෂාහ්..... කියල වැඩක් නෑ. ඒව මෙතන දැම්මොත් සමහර විට අපවාද අහන්ටත් වෙයිද දන්නෑ. තව කවි ඇති, ගෙදර ගියාම හොයල බලල දාන්නම්.

අද දාන්නෙ, කියවපු කවි අතරින් හැමදාම මතක තියෙන විදියට මගෙ හිතට වැදුණු කවි වලින් සමහරක්.

වන මල් පියලි විල්ලුද බුමුතුරුණු උඩ
යන මිනිහෙකුගෙ ගමනින් නැහැ ලොවට වැඩ
ඇණ උල් තියුණු ගල් මුල් වල මුණත මැඩ
පැන යන ගමන හිතවත කොපමණද හැඩ
෴ඇස්. මහින්ද හිමි. 'අපේ ඉදිරි ගමන' ෴ වගෙයි මට මතක

ගෙනියන දෙයකුත් හිස පිට බරකුත් නොමැතිව නිදහස් තැනක වැටී
තනියම ඉන්නට රිසි තැන යන්නට නුපුරුදු වී නැඟ කඳුළු කැටී
නොනිමෙන ගින්නක් වැනි තණ්හාවෙන් බිය සැක බව හදවතෙහි ගැටී
මිනිසුන් ගේ දොර අගුළු දමාගෙන මට පුදුමයි දුක් විඳින හැටී
෴ පී. බී. අල්විස් පෙරේරා. (පාදඩයා)෴

දුක් කම් කටොළු යම කාලය මැතිරෙද්දෙන්
යක් බූ පිසස් අකණිට තෙක් වටලද්දෙන්
දක්වා පුරුදු රණකාමය එපුරුද්දෙන්
ලක් කළ තැනට යමු මේ අනතුරු මැද්දෙන්

අනතුරු විපත් හිරිහැර නුදුරු සිත ගත
මොන කරුණකට වත් යොමු කරනු යුතු නැත
සණගල නොගෑ නොසහන එගල අසිපත
රණ කෙළි පිණිස හොඳදැයි සිතනු හිතවත

කඩු දුනු කිණිසි සවිබල මන් මදින් දැපී
මුඩු මැත දොඩන රුපු හමුදා සමඟ හැපී
කැඩුනොත් කැඩේවා අඬු පඬු දෙකට කැපී
අඩුවක් නොකොට යමු යන මේ ගමන අපී

විස විදි අවිද සවිබල වූ තැනදි ලොපේ
පැසසුම් පඬුරු නිල තල මඟ දිගට පිපේ
ඇස නොහෙලන්න රැවටී ඒ නිසරු ඔපේ
අසරණ සරණ සඳහයි මේ ගමන අපේ
෴ඇස්. මහින්ද හිමි. (අපේ ඉදිරි ගමන)෴

කිවිඳෙකු ලයේ ලේ වැගිරෙන හඳපානේ
සිතුවිලි ළඳුන් ඇවිදින් ගම යනවානේ
රන්වන් තුඩින් කවි ලියැවෙන මගෙ පෑනේ
අවසන් කවිය අවසන් නැත අවසානේ
෴ඩෝල්ටන් අල්විස්.෴
මේක නම් කවි මඩුවක කියාපු එකක් වගෙයි මතක. කිව්වෙ කවුද කියල මතකත් නෑ. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. මේක තවත් කවියෙකුට කියාපු එකක්. මේ දෙන්නම බොහොම ප්‍රසිද්ධ කවි කාරයො.

ඇඟ පත කළුය, ලොකු උඩු රැවුලකි මූණේ
රැයකදි එහෙම දුටුවොත් බය වෙනවානේ
කට - රත්මලානේ, දත් ටික - අඟුලානේ
මොහු පිටකොටුවෙ යනවිට බඩ මරදානේ!!!

කොහොමද වැනුම?

කාල වරෙංකො.....!!!!!

මේ තියෙන්නෙ 'අද ලක් මවගේ පුත්තු' කියන කවි පන්තිය. ඇස්. මහින්ද හාමුදුරුවංගෙ.

෴ඉතිරිය පසුවට.....෴


6 comments:

  1. නංගි, ඔයා එදා අර ලින්ක් ටික දැම්මට ගොඩක් ස්තුතියි..
    ඒ වෙලාවෙ මම ඒ සින්දු ටික අහන්න පුළුවන් නිදහස් හිතකින් නෙවේ හිටියේ..
    ඒත් පස්සෙ මම ඒ ඔක්කොම ඇහුව.. ඒව මියුරුගී වෙබ් සයිට් එකේ තිබුනට මට මග ඇරුනු සින්දු..
    ඇත්තෙන්ම ලස්සනයි...

    ReplyDelete
  2. ස්තුති අක්කා..

    ReplyDelete
  3. ඔයා නම් නියම කෙල්ලෙක්.. මං හරි ආසයි ඔයා ලියන ඒවා කියවන්න...මේ සේරම කවි ඔයා මතකයෙන්ද ලියුවෙ... දිගටම ලියන්න.. මම හැමදාම එනවා කියවන්න.

    ReplyDelete
  4. @චේජනා,
    මොකට ස්තූති කරනවද අක්කෙ. මාත් කැමතිම සින්දු....

    @රවා,
    anytime malli...

    @nethu,
    හිහ් හිහ් හී ස්තූති වේවා!
    ඔව්, මතකෙන් තමයි. තව ගොඩක් තියෙනවා මතක නැති නිසා දාන්න විදියක් නැතුව. ගෙදර ගිය වෙලාවක අවුස්සල බලන්න ඕනෙ.
    wordpress එක අයින් කළා. දැන් දිගටම මේක තමා. ඇවිත් ගුණ දොස් කියල යන්නකෝ.

    ReplyDelete
  5. මල් හා ගල් සොයා එන්න ගල්මල් පරක්කු වෙලා නේ.

    අගේ ඇති කාර්යයක් නංගී, සුබ පැතුම්!

    ReplyDelete
  6. @ ගල්මල්,
    හැබෑම නේන්නම් අයියෙ. ඕක දාද්දි මට ඔබතුමා මතක් උනේ නෑ නොවැ.
    තැංකූ කිව්ව එහෙනම්

    ReplyDelete