Showing posts with label sinhala songs. Show all posts
Showing posts with label sinhala songs. Show all posts

Tuesday, July 6

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

අම්මප ඇත්ත නේන්නං!!!
දීපංකො උත්තර!!!

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා,
අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ? 

ආලවඩන ඔමරි ලතා, බාල බොළඳ මිහිරි කතා
හැමදාමත් එක විදියට නෑ පවතින්නේ
මේ කන්නත් පහුව යාවි, අපි දෙතැනක වයස යාවි
ඉර හඳ තරු අපි වෙනුවෙන් නෑ නවතින්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

වනේ දුවන මුවන් බලා, හෙළා ඉවත නෙලූ පලා
නඟේ ඔහොම කොපමණ කල් ඉන්නද යන්නේ?
මට මව්පියො දොස් කියාවි, වෙන එකියක් ගැන සොයාවි
මම නම් නැහැ තනි පැදුරක වයසට යන්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්....  

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?//

අහනවනං මේං

එඩ්වඩ් ජයකොඩි
සෝමරත්න දිසානායක
රෝහණ වීරසිංහ

Wednesday, June 16

හිත හදාගත්තා විතරමයි - ඔබ ආයෙමත් ඇවිදින්!!!!!

විරහව...
පහුගිය දවස් ටිකේම විරහව ගැන ලියවුණු දෑ බොහෝයි.
මගේ සඳ
අතීතයෙන් අහුලන මතකයන්
සොඳුරු සිත
ආදරය විරහව සහ කඳුළ....
සහෘදයා
ඒවා අතරින් කීපයක්.
කාලෙකට කලින් මගෙ අතින් ලියවුණු කවියක් සහ අමරසිරි පීරිස් මහත්මයගෙ ගීතයක් මතකයට ආවෙ මේක කියවද්දි.  

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්!

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්?
නුඹ නොදැක සිටි දිගු කාලයේ,
හිත හදාගත්තා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!

දෑස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්වත් සුවඳ නැතිවිය ඔබ තරම්!
නුඹ නොදැක සිටි ඒ කාලයේ,
නෙත කඳුළු මැකුනා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!

ඔබ ආයෙමත් ඇවිදින්....

ඔය ගීතය අහන්න කළිං මගෙ අතින් ලියවුණා මෙන්න මේ කවිය. ගෙඩි පිටින්ම මගේ අත්දැකීමක්.
 
පිටමං කරනට ඔබ රුව මනසින්
අනන්ත වූ දුක් වින්දා රහසින්
ආයෙම ඇවිදින් පෙරදා විලසින්
එපා එබෙන්නට මා සිත් අහසින්

මේ සිතිවිල්ල අපි හැමෝටම පොදුයි. ඒත් මේ බොහොම වැරදි, බොහොම භයානක සිතිවිල්ලක්. දුක ඇතිවෙන්නෙ අපේ හිතේ නේද? එහෙනම් ඇයි අපි වෙනත් කෙනෙකුට දෝශාරෝපණය කරන්නෙ? දුක හිතෙන් තුනී කරන්න කියල, දෙන්න මුණ ගැහෙන අවස්ථා මඟ හරින්න උත්සාහ ගන්නෙ? කාලයක් මුණ නොගැහි හිටියම දුක තුනී වෙනවා. හරි. ඒත් ඔය කලින් කියන්නා වගේ හදිසියෙම හම්බ උනොත් මොකෑ වෙන්නෙ? කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු! ඉවරයි නේද හිතේ තිබ්බ සංහිඳියාව?
තමන් ඇති කරගත්ත දුක නැති කරගතයුතුත් තමාමයි. අපි මෙහෙම හිතමු.
(මං මේ පෙන්නන්න යන්නෙ දිශාවක්. මගේ ඇඟිල්ල දිහා බලන්නෙ නැතිව ඔයාල මං පෙන්නන දිශාව දිහා බලාවි කියල මං විශ්වාස කරනව.)
තාපසයෙක් ඉදිරියට  බොහොම රූමත්, අඩ නිරුවත් කාන්තාවක් ඇවිල්ල අනඟ රැඟුමක් දානව කියල හිතමු. තාපසයට ශෘංගාරාත්මක හැඟීමක් පහල වුණා කියලත් හිතමු. දැන් තාපසයට ඕනෙ කරන්නෙ මෙවන් හැඟීම ඇතිවෙන එක වළක්වාගන්න. ක්‍රම දෙකක් තියෙනව.
ලේසිම වැඩේ ඇස් දෙක වහගන්න එක. එතකොට පේන්නෙ නෑ. හරි තාවකාලිකව වැඩේ ගොඩ. හැබැයි ආයෙ ඇස් ඇරපු ගමන් ඉතින් බඩුම තමයි.
දෙවෙනි එක අමාරු ක්‍රමය. ඇස් ඇරගෙන ඇය දිහා බලාගෙන ශෘංගාරය ඇති වෙන්නට ඉඩ නොදී සිටීම. පට්ට අමාරු වැඩක් වුනත් හරියට කරගත්තොත් කිරි ගහට පිහියෙන් ඇන්න වගේ නේද?

අපි හැමෝම අර කළින් කියපු අවස්ථාවෙදි කරන්න උත්සාහ කරන්නෙ ටික කලකට ඇය හෝ ඔහු අමතක කිරීම උනත්, හිතේ යට ඒක තැන්පත් වෙලා තිබිල නැවත සම්බන්ධයක් ඇතිවුණ ගමන් 'වතුරෙ ගිල්වපු රබර් බෝලෙ' වගේ ආයෙ මතුවෙනවා. ඒක දරා ගන්න එක හරි අමාරුයි. ඒත් අපි පුළුවන් තරම එයා හමුවෙලා, නියුට්‍රල් එකේ එයත් එක්ක කතා බහ කරන්න, හැසිරෙන්න උත්සාහ කළොත්?  .............
මේ මම කිව්වෙ මගේ තියරිය. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අදටත් ඔහුව මුණ ගැහුණාම මටත්, මාව මුණ ගැහුණාම ඔහුටත්, ඉස්සර වගේම කට පිරෙන්න, හදවතින්ම හිනා වෙලා, සුහදව කතා කරන්න හැකියාව තියෙන්නෙ අපි දෙන්නම ඔය විදියට හිතපු හින්දා වෙන්ටැ කියලයි මම නම් හිතන්නෙ.
 
මම පොර සේ මේ ක්‍රමය කිව්වට මේක බුදු හාමුදුරුවො දේශනා කරපු උපාදානය අත හැරීමම තමයි.
....තණ්හා <-> උපාදාන <-> භව ....

අපිට හැමදේටම මේක යොදන්න පුළුවං නම් කොච්චර හොඳද?

Tuesday, May 25

අනේ බුදුහාමුදුරුවනේ, අපිට මොකටද වෙසක්? ( wesak! what for??)



ස්සා සා සා සා.......දු!

අනේ බුදුහාමුදුරුවනේ මට ඔබ වහන්සේ මතක් වෙන්නෙ වෙසක් කාලෙට විතරමයි. 

ඔබ වහන්සේ ඉපදුනේ, බුදු උනේ, පිරිනිවන් පෑවෙ වෙසක් දවසෙලු. 
(හොඳ වෙලාවට, බුදු හාමුදුරුවො මොළේ කල්පනා කරල  ඔය වැඩ තුනම එක දවසෙ කරගත්තෙ. ඇයි හත්තිලව්වෙ නැත්නම් වියදම් කරපන්කො තුන් පාරක්ම!)

ඒ හින්දා මං දන්සැල් දාල, තොරණ් ගහල, පන්සලේ පිංකම් තියල "දානපති අසවලා" කියල කොහොම හරි කියාගන්නවා. 
(දන්සැල් දාන එකත් මරු දතක්නෙ. නියමෙට කීයක් හරි ගහගන්න පුළුවංනෙ. මොකෝ පව් සිද්ධ වෙනවයැ. වෙසක් එකටනෙ.)

කොහෙද? මුං වෙලාවකට මගෙ නම කියන්නෑනෙ. 
ඔන්න ඔය වෙලාවට තමා මට ඌරු ජුවල් නගින්නෙ.

ඒ අස්සෙ මේ හාමුදුරු කෙනෙක් කියනව 'වෙසක් එකට විතරක් ආමිස කරල වැඩක් නැතිලු හැමදාම ප්‍රතිපත්තිත් රකින්න ඕනෙ'ලු. 
අනේ! ගනයගෙ ප්‍රතිපත්තිය!

තව එකෙක් මට කියනව, 'ඔය ලෝකෙට පේන්න මල් පූජ කරල, පහන් පත්තු කරල වැඩක් නැතිලු. කරනවනම් හිත සුද්ද කරගෙන හිතේ පහනක් පත්තු කරන්න'ලු. 
ඒ යකාට මඤ්ඤංද කොහෙද? ඇඟ ඇතුළෙ කොහේ පාන් පත්තු කරන්නද?
උං දන්න බම්බුව. 
හරක්! 

මේකෙ රහ දන්නවද උං? 
මෝඩ හැත්ත!
..

කවුද යකෝ මේ අවේලාවෙ සිංදු කියන්නෙ?


වෙසක් ලබනවා තොරණ් බඳිනවා
තැන තැන දන්සැල් ඉදිවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් සිරිලක රජ වෙනවා
 
වෙසක් ගෙවෙනවා තොරණ් ලිහෙනවා
දන්සැල් කාලය නිමවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් රජකම හැරයනවා!
 
වෙසක් කාලෙටයි කාගෙත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා?
නම්බු රැකීමයි නිවන් දැකීමයි  

එක මඟ යන්නේ කොහොමද මන්දා? ///



ඈ යකෝ! 
මේ එඩ්වඩ් කාරය නේද මේක කියන්නෙ? 
මොකද්ද බොල ඌට තියෙන අමාරුව? 
ඌ කතෝලිකය. 
***###**
අපිට ඕන්නං අපි කරනව - නැත්තං නිකා ඉන්නව. එක එකා එනවද මෙතන උපදෙස් දෙන්න?
ඕක නම් ඉංතේරුවෙන්ම අපේ මේ 'සිංහල බෞද්ධයො' ගැන ඉරිසියාවට අපිව නැති කරල දාන්න ඕකුං පිටරටවලුත් එක්ක එකතුවෙලා ගහපු ප්ලෑනක්. 

අපේ ආගම නැතිකරන්න!
හිතුව මදි තොපි. 

තියෙන දෙයක් කාල බීල සද්ද නැතුව ඉන්නැතුව ආව අපේ හරි වැරදි කියන්න. 
කාලකණ්ණි!!!

අපිව නැති කරල උංගෙ ආගම පතුරවන්න! 
මේ ලංකාවෙ!
හුහ් ....
ඒව කොහෙද යකෝ අපිත් එක්ක?

වරෙව් යන්න මාත් එක්ක. 
වරෙල්ල යන්න ඕකගෙ ගේ බිමට සමතලා කරල, ඇට කටු ටික කුඩු කරල එන්න. 

*&%^#!*****grrr*** crush****#*&*&*





Monday, May 24

උණු උණු වෙසක් ගීතයක් සමඟ සිතන්නට බොහෝ දේ !

මේ ගීතය පටිගතකලේ බොහොම කාලෙකට ඉස්සර. ඒත් මුලින්ම ජනමාධ්‍යයක ප්‍රචාරය වුනේ මේ දැන් ටිකකට කලින්. 

ප්‍රේමකීර්තිගෙ තවත් පුදුමාකාර පද පෙළක්. ඔහු ඔහුගේ මරණය දුටුවාවත්දෝ කියල එක් විචාරකයෙක් මේ ගැන කියද්දි සඳහන් කළා. 
රෝහණ වීරසිංහගෙ සංගීතයට ගායනා කරන්නෙ එඩ්වඩ් ජයකොඩි. 
ආරියදාස පීරිස් අධ්‍යක්ෂණය කරපු සුභා කියන චිත්‍රපටයෙ එන ගීතයක්. මේ චිත්‍රපටය තව නොබෝ දිනකින් අපිට දැකබලා ගත හැකිවේවි. 

එඩ්වඩ්ගෙ මනාව පාලනය කරපු ඉතාම අලංකාර ගායනයත්, රෝහණගෙ නියමෙට ගැළපෙන සංගීතයත් ගැන නොකියාම බෑ. ගීතය අහන්න සලස්වන්න බැරි වීම ගැන සෑහෙන දුකයි. ලැබුණු ගමන් දාන්න පොරොන්දු වෙනවා. 
පද මෙතන තියෙනවා. 
 
පංසලේ කෝවිලේ පල්ලියේ දෙවියනේ
ජීවිතේ බර බාර දී වැඳ යාදිනා දුක් යාතිකා
නෑසුනේදෝ ඔබට මිනිසා
චෝදනා කළ කාරණා //

අවිදරා අත එකිනෙකා මැඩ
නෑ ලොවේ සාධාරණේ
ඔබ කතා නැත බිඳ වැටීලද
සාමයේ පූජාසනේ
කෝ මගේ දෙවියෝ
කෝ අපේ දෙවියෝ //

වරද කාගෙද නැතිද දඬුවම්
නීතියේ දෙව් නීතියේ
බණ පොතේ බණ, බයිබලේ පද, ගීතිකා දේවාලයේ
බුදු පියාණෙනි, දෙව් පියාණෙනි, කුරුසියේ, අල්තාරයේ
ලෝකයා හමුවේ සාමයේ මහිමේ
දෙසනු ආයේ නැවත බිහිවී
දේශනා, බණ දේශනා

ජීවිතේ බර බාර දී වැඳ.....

ආගම්වල නාමයෙන් එකිනෙකා ඇනකොටා ගන්න මේ කාලෙ මේ ගීතය අපිට හිතන්න බොහෝ දේ ඉතිරි කරල තියෙනව නේද?

Wednesday, May 19

නාරද දිසාසේකර අද නිහඬ වෙලා!!!


මම කිසිත් නොමදත් ළදරුවෙකු සේ මං මුළා වී සරමින් සිටියෙමි.
පිපී රේණු නටන මලක හැප්පී, ළා දළු වන මල්ද හිමිහිට සෙළැවූ පවන් රොදක් මට වරෙං වරෙං කියා අඬගැසුවේය.
ඒ ඇරයුමින්ම මගේ මතකයේ නිම් තළා බිඳ අතීතයේ ගඟ ගලා බසින්නට පටන් ගති.
ඈත ගව් ගණන් දුරින් පාවී ආ විලාසිතා අතරින් ආදර නිල් දෑස ඔහුට හමු වූවිට, මුළු හදින්ම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මවා ඇය තවෙකෙකුට අයිතු වුණු හැටි බලා දුක් වූවත් පසුව ඇය නාමලින් දිනූ ලියක්දැයි ඔහුට සිතුණු වාරද අනන්තය.
එහෙත් සියළු දුක්ඛ දෝමනස්සයන් පසෙක ලා, රස වෑහෙන මකරන්ද ඇති පුෂ්පයක ඇරයුමින් මල් පීදුණු කැදැල්ලකට තුරුල් වී කෝකිලයෙක් සේ, හිත ගිය තැන මාළිගාවක් සැදුවේ, ප්‍රේම ලොකේ නීති රීති හරි වැරදි නොසළකන හෙයින් සටනක් වූ ප්‍රේමය චේතනා පරිශුද්ධ වූ හෙයින්ම ජයගත් නිසාවෙනි.
පසුව ඔහුගේ හද මාළිගයේ අභිෂේක ලබාගත් ඈ රන් ගිර'ගින් රන් බඳුනට රන් මසුරන් වැටෙන හඬ ඇසී සතුටින් සිනා නැඟුවාය.
එහෙත් සලිත විලෙක රළ පෙළ විලසින් තණ්හාව නැඟෙනු දුටු විට රන් රිදී වස්තුව එපා කියා ඔහු එය අතහැර දැමීය.
මලින් මලේ රේණු උරමින් පෙම් හබ වල පැටලී සිටියත් උපන් බිමෙ උරුමය රැක ගන්නටත් පෙරටම ගියේ "සවිබල යකඩ වගෙයි අපෙ අත්වල - එඩිතර ගතිය තිබෙයි අපෙ හිත්වල" කියමිනි.
ජීවිතේ ගලන ගඟක් වගේ දුටු ඔහු පුරුදු ජීවන මං තලයේදී ලෝකයේ ගමන නොනිමෙන බවද දුටුවේය.
හිමින් හිමින් පිටුපස්සෙන් තවලම යන්නා වාගේ ගෙවෙන ජීවිතයේ උදාසීන බවද අවසන් කාලයේදී ඔහුට පෙනිණි.

"ජනන මරණ දෙකෙහි බැඳුණු බොරු ආටෝපේ
කොතෙක් දිනක් බලා සිටිමි නිවටෙකු වාගේ
නිවන් සොයා වල්වැද යමි සැණකෙළි ලබමින්"
අවසන මෙසේ කියමින් කුඩ මස්සකු සේ අනන්ත සයුරේ අප තනිකරදමා ඔහු පිටත් විය.

තනිකම වැළපේ. එනමුදු ඔබට නොපෙනේ.

මගේ මුළු හද පාළු හේනකි - කාට මේ දුක කියම්දෝ???

දුකට මුල ආදරය යනබව නොදත්තෙමි නාරදයෙනි....!!!

"දෛවය එක ලෙසයි කාටත් එළඹෙන්නේ
එය කිසිවිටක නැත කිසි තැන පැකිළෙන්නේ
බියකරු රෝගයක සළකුණු පවසන්නේ
අපිහැම තනිඋනා නාරද නැත එන්නේ"

මේ භවයෙදි මුළු දියදායේ - උපදිනු මැන මෙහි ඔබ ආයේ !!!!

Thursday, April 29

බිරින්දෑවරුන්ට සෙනෙහසින්!

වැවක් පුරා එක සීරුවට සුදු නෙළුම් පිපුණැයි මට හිතුණා
එදා නුඹ ඇහැ ගැහුණු දොහේ
අමාවක දා හඳ පායාලයි එදා මට හිතුණා.

(චන්ද්‍රිකා සිරිවර්ධන - එඩ්වඩ් ජයකොඩි)

අහන්න


කොහේදෝ ගුවන් විදුලියකින් නැඟුනු හඬ මාව අතීතයේ අතරමං කළා වගෙයි මට දැනුනෙ. ඒ මට ඈ මුණගැහුණු මුල්ම දවස්.


මොකක්දෝ අමුතුම හැඟීමක් හිතට ඇතුල්වුනේ ඇයි? දැන් අපි වෙනස් වෙලා හින්දද? නෑ නෑ අපේ ආදරය තවමත් එහෙමමයි නේද? ඇත්තටම එහෙමද? මං ඈ ගැන හිතනව මදි නේද?


............

ඈ පුරුදු ජීවිතයට ආයුබෝවන් කියල මං එක්ක ජීවත් වෙන්න ගත්ත මුල්ම දවස්.


ඒ කාලෙ ඈ මොන තරම් පාළුවෙන් ඉන්න ඇත්ද? මා ඈ හමුවනතුරුත්, ඈ මා එනතුරුත් පෙරුම් පුරපු හැටි මට මතක් උනා.



සඳ එළිය ගලයි - සයුර දිගේ - ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ - සිතිජ ඉමේ - හිතට දුක දැනේ
මඳ පවන නිසල වී - රළ පෙළට තුරුළු වී
වැහි ළිහිණි රෑන් පමණි - මගේ දුකට හඬන්නේ

ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුළු සිරුර ගිනි ගනී//
රළ නඟන අඳෝනා - හද බිඳෙන වේදනා
පාළු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ
සඳ එළිය ගලයි.....

දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොළඟම නැඟි නැඟී//
දුර ඇදෙන ඔරු බඳේ - පිණි කඳුළු බිඳු රැඳේ
මාගෙ හදවතේ දුක ඔබ පමණි නිවන්නේ
සඳ එළිය ගලයි.....

(සමිතා මුදුන්කොටුව - වික්ටර් රත්නායක, වික්ටර් රත්නායක)

අහන්න

...........

පුංචි පුංචි අඩ දබර වලදි මං කතා කරපු හැටි වැරදියි නේද? ඈ නැතුව මං කොහොමද ඉන්නෙ? මං නැතුව ඈ කොහොමද ඉන්නෙ?.......
කළේ පැන් ඇත - නැවුම් රහ නැත - මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කරවී - මොකද මන්දා ළිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත - මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහකොළ සුළඟ ඇත එද - සිහිල කොයි අත ගියාදෝ
කෝළ බව මුසු සිනා හඬ නැත - සවන් බිහිරිව ගියාදෝ
කළේ පැන් ඇත....

පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑගම් ගොහින් ///

(සුනිල් එදිරිසිංහ/කේ. ඩී. කේ. ධර්මවර්ධන/රෝහණ වීරසිංහ)

අහන්න

..........

අපේ ජීවිත වලට වසන්තය උදා කරපු අපේ පුංචි පැටවු ටික....
උං මං එනකන් බලා ඉන්න හැටි, පෙරළි කරනකොට ඈ අමාරුවෙන් ඔවුන් පරක් කරන හැටි මට මතක් වුණේ උගුරෙ මොනවාදෝ හිර වෙද්දි.
රුක් අත්තන මල මුදුනේ
බමරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් - කවුරුද එන්නේ

මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා - පියමං කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ
රුක් අත්තන මල මුදුනේ.....

පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මියයන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් - කවුරුද එන්නේ
රුක් අත්තන මල මුදුනේ.....

(නන්දා මාලනී/මහින්ද අල්ගම/නන්දා මාලනී)

අහන්න

ඈ එහෙම කියා දෙන්න ඇති.

පැටවුන්ට ගුරු හරුකම් දුන්නෙ මම නොවෙයිනෙ.....

..............

පොඩිඋං විතරද? මං ගැනත් හැමදේම හොයා බැලුවෙ ඈ නේද කිසිම කෙඳිරිල්ලක් වත් නොනඟා???? ඈ මේ සියළුම දේවල් කළේ කොහොමද දෙයියනේ?


ඇයි මට නොපෙනුණේ......????

මං මහ නරුමයෙක්, ගුණමකුවෙක්....



අතින'ත ගත් දා ඉඳලා
තම හිමිට සරණ - දූ පුතුන් සරණ කළ
බිරින්දෑවරුන් සංසාරේ
බුදුවරු වෙන්නද පෙරුම් පුරන්නේ//
බිරින්දෑවරුන් සංසාරේ //

කරදර ලිප ලා - උයා පිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා
අතින'ත ගත් දා ඉඳලා....

කඳුළැලි වියලා - හදතුළ සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුණ පමණක් මොලවනවා
අතින'ත ගත් දා ඉඳලා....

(සේනානායක වේරලියද්ද/මහින්ද කේ. ප්‍රේමසිරි/සේනානායක වේරලියද්ද)

අහන්න

...............

ඈ නොහිටින්න මං තනියම මොනව කරාවිද?
හැමදේකටම දිරිය ශක්තිය උනු ඈ........
සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මඟ අහුරන දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මං සල්වල විඩා නිවා
ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ.....

(එඩ්වඩ් ජයකොඩි /තිස්සසිරි පෙරේරා/පී. බී. කවිරත්න)

අහන්න
..............

සොඳුර, මෙතුවක් කල් ඔබ ගැන නොසිතුවාට මට සිය දහස් වාරයක් සමාවෙන්න.

මගේ මුළු ලෝකයම එළිය වූයේ ඔබගෙනි......
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින//


මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
නුඹ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්
උතුරයි ම'සිත තව නුඹ වෙත තුරුළු වෙමින්


බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

(අමරදේව/සුනිල් ආරියරත්න/රෝහණ වීරසිංහ )

අහන්න

---***---

************************************
හඬන පොඩි පුතු නළව ගන්නට නිදන මට රහසින්
*************************************
**************************************


ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින්
වහා දස අත සුවඳ පිරුණා ඔබේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැඟු රළු පරළු හඬ අතරින්
ඔබේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්


මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්///


(සුනිල් එදිරිසිංහ)


මේක ලියන්න හිතුනෙ මං ළඟ තිබුණ පරණ කැසට්1ක් මතක් වෙලා. මං පුංචි කාලෙ ආසම සින්දු එකතු කරල කාණ්ඩ වලට බෙදල කැසට් වෙන වෙනම තියල තිබුණ. ජීවිතේටම දෙපාරක් විතරක් අහපු සින්දුවක් මතක් උනා ඒ එක්කම. මේක මම එදා ඉඳලම හොයන එකක්. ඒත් හම්බ උනේ නෑ. රේඩියෝ එකේ තමා දෙපාරම ගියෙ. දෙපාරම සංගීතය ඇහෙද්දිම දුවල ගිහිං පොතයි පෑනයි ගෙනාවත් ඒ වෙනකොට මුල් පද කීපය ඉවරවෙලා. ඒ නිසා මුල් පද 3ක් මට අමතකයි. ඒත් අනිත් ටික මතක විදිහට අකුරු කළා. ඔය අන්තිමට දාල තියෙන්නෙ ඒක තමා.


අනේ කවුරුහරි පිංවතෙක් ඉන්නව නම් මට මේක හොයා ගන්න උදව් කරන්න.


මේ එකම එක සින්දුවක් ගැනවත් මම මුකුත්ම කියන්නෙ නෑ. ඒක ඔයාලම අහල විඳගන්න.


මට වඩා ඉතාමත් හොඳට, මට පේනවට වඩා දහසක් දේ මේ සින්දු කියාවි.