Sunday, July 18
අයැදිමි...
Tuesday, July 6
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
දීපංකො උත්තර!!!
කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා,
අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
ආලවඩන ඔමරි ලතා, බාල බොළඳ මිහිරි කතා
හැමදාමත් එක විදියට නෑ පවතින්නේ
මේ කන්නත් පහුව යාවි, අපි දෙතැනක වයස යාවි
ඉර හඳ තරු අපි වෙනුවෙන් නෑ නවතින්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
වනේ දුවන මුවන් බලා, හෙළා ඉවත නෙලූ පලා
නඟේ ඔහොම කොපමණ කල් ඉන්නද යන්නේ?
මට මව්පියො දොස් කියාවි, වෙන එකියක් ගැන සොයාවි
මම නම් නැහැ තනි පැදුරක වයසට යන්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
කිරුළ උරුම කුමාරයෙක්....
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?//
අහනවනං මේං
එඩ්වඩ් ජයකොඩි
සෝමරත්න දිසානායක
රෝහණ වීරසිංහ
Tuesday, June 22
මා සිත් ගත් කවි 3 - A Letter to His Daughter
නාහෙට නාහන දඩබ්බර ගතියයි, කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න මවා ගත්තු රළු ගතියයි, කවදාවත්ම නොසංසිඳෙන ස්වාධීනබවේ පිපාසාවයි නිසාමදෝ අවුරුදු දහයක පුංචි කෙලි පොඩිත්ති මේ ලියුම කියවගෙන යද්දි පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ.
ඊට අවුරුදු කීපයකට පස්සෙ තාත්ත ගෙදර එද්දි දෝණියන්දෑ මේ සියළු අවවාද පිළිපැදල තිබුණත්, තාත්තගෙන් ගොඩක් දුරස් වෙලා කියල දැනුණු වෙලාවෙ තාත්තට කඳුළු හංගා ගන්න බැරිවුණා. ඒත් ඒ කඳුළු වලටවත් ඇගෙ දෑස තෙමන්න බැරිවුණා.
තවත් ටිකක් ලොකු වුණාම තමයි ඈට තේරුණේ ආදරය තියෙන්නෙ ලබා දෙන්න කියල.
ඒ ඇගේ කතාව.
මම මේ ලියුම මෙතන දාන්නෙ සියළුම දූවරුන්ට සහ පුතුන්ට.....
සියළු දෙමව්පියන්ට උපහාරයක් විදියට....
පැහැදීමෙන් යුතුව සිප්සල වෙත යන්න
වගකීමෙන් යුතුව සිප්නැණ දැනගන්න
සැළකීමෙන් යුතුව ගුරුසිත දිනමින්න
ඉගෙනීමෙන් යුතුව හොඳ දරුවකු වන්න
ගුරුමව් වරුන් හා ගුරු පියවරුන් වෙත
වැදුමව් වෙතට පානාමෙන් කුළුණුමෙත
කළපව් වැරදි හැරගන්නට තුටුව සිත
ගුරුදෙව් ලෙසින් හැමදා නමදින්න පුත
ඉගෙනීමට මෙන්ම හොඳ ගතිවලට හුරු
පුරුදුව සිටීමෙන් ලැබගත හැකිය ගරු
සැළකිලි ඇතිව ගිය විට සබයකට සරු
රැකගත හැකිය මුල්තැන කවදටත් හුරු
මුල්තැන ලැබී උඩඟුව උඩ පැනීමෙන්
වැළකී සිටිනු මැන කටමැත දෙඩීමෙන්
රැකගෙන සතුට සාමය ජය ලැබීමෙන්
හොඳ විය යුතුය ඔවදන් පිළිපැදීමෙන්
ඉගෙනීමට වැඩිය හිත දිරිකරගන්න
බොඳවීමට නොදී හොඳ නම රැකගන්න
සැනසීමට ඔබේ මව් තුරුලට යන්න
සිහිවීමට මගේ පිය සෙනෙහස මෙන්න
විහිදුව මින් ගුණය ජයටැඹ වෙත යන්න
මිරිඟුව ඒ දෙසම ඇතිබව දැනගන්න
සිරිදුව විලස ලොවටම යහපත දෙන්න
පොඩිදුව මගේ සුවඳැති කැකුළක් වන්න
Wednesday, June 16
හිත හදාගත්තා විතරමයි - ඔබ ආයෙමත් ඇවිදින්!!!!!
පහුගිය දවස් ටිකේම විරහව ගැන ලියවුණු දෑ බොහෝයි.
මගේ සඳ
අතීතයෙන් අහුලන මතකයන්
සොඳුරු සිත
ආදරය විරහව සහ කඳුළ....
සහෘදයා
ඒවා අතරින් කීපයක්.
කාලෙකට කලින් මගෙ අතින් ලියවුණු කවියක් සහ අමරසිරි පීරිස් මහත්මයගෙ ගීතයක් මතකයට ආවෙ මේක කියවද්දි.
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්!
උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්?
නුඹ නොදැක සිටි දිගු කාලයේ,
හිත හදාගත්තා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!
දෑස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්වත් සුවඳ නැතිවිය ඔබ තරම්!
නුඹ නොදැක සිටි ඒ කාලයේ,
නෙත කඳුළු මැකුනා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!
ඔබ ආයෙමත් ඇවිදින්....
පිටමං කරනට ඔබ රුව මනසින්
අනන්ත වූ දුක් වින්දා රහසින්
ආයෙම ඇවිදින් පෙරදා විලසින්
එපා එබෙන්නට මා සිත් අහසින්
තමන් ඇති කරගත්ත දුක නැති කරගතයුතුත් තමාමයි. අපි මෙහෙම හිතමු.
(මං මේ පෙන්නන්න යන්නෙ දිශාවක්. මගේ ඇඟිල්ල දිහා බලන්නෙ නැතිව ඔයාල මං පෙන්නන දිශාව දිහා බලාවි කියල මං විශ්වාස කරනව.)
තාපසයෙක් ඉදිරියට බොහොම රූමත්, අඩ නිරුවත් කාන්තාවක් ඇවිල්ල අනඟ රැඟුමක් දානව කියල හිතමු. තාපසයට ශෘංගාරාත්මක හැඟීමක් පහල වුණා කියලත් හිතමු. දැන් තාපසයට ඕනෙ කරන්නෙ මෙවන් හැඟීම ඇතිවෙන එක වළක්වාගන්න. ක්‍රම දෙකක් තියෙනව.
ලේසිම වැඩේ ඇස් දෙක වහගන්න එක. එතකොට පේන්නෙ නෑ. හරි තාවකාලිකව වැඩේ ගොඩ. හැබැයි ආයෙ ඇස් ඇරපු ගමන් ඉතින් බඩුම තමයි.
දෙවෙනි එක අමාරු ක්‍රමය. ඇස් ඇරගෙන ඇය දිහා බලාගෙන ශෘංගාරය ඇති වෙන්නට ඉඩ නොදී සිටීම. පට්ට අමාරු වැඩක් වුනත් හරියට කරගත්තොත් කිරි ගහට පිහියෙන් ඇන්න වගේ නේද?
අපි හැමෝම අර කළින් කියපු අවස්ථාවෙදි කරන්න උත්සාහ කරන්නෙ ටික කලකට ඇය හෝ ඔහු අමතක කිරීම උනත්, හිතේ යට ඒක තැන්පත් වෙලා තිබිල නැවත සම්බන්ධයක් ඇතිවුණ ගමන් 'වතුරෙ ගිල්වපු රබර් බෝලෙ' වගේ ආයෙ මතුවෙනවා. ඒක දරා ගන්න එක හරි අමාරුයි. ඒත් අපි පුළුවන් තරම එයා හමුවෙලා, නියුට්‍රල් එකේ එයත් එක්ක කතා බහ කරන්න, හැසිරෙන්න උත්සාහ කළොත්? .............
මේ මම කිව්වෙ මගේ තියරිය. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අදටත් ඔහුව මුණ ගැහුණාම මටත්, මාව මුණ ගැහුණාම ඔහුටත්, ඉස්සර වගේම කට පිරෙන්න, හදවතින්ම හිනා වෙලා, සුහදව කතා කරන්න හැකියාව තියෙන්නෙ අපි දෙන්නම ඔය විදියට හිතපු හින්දා වෙන්ටැ කියලයි මම නම් හිතන්නෙ.
මම පොර සේ මේ ක්‍රමය කිව්වට මේක බුදු හාමුදුරුවො දේශනා කරපු උපාදානය අත හැරීමම තමයි.
අපිට හැමදේටම මේක යොදන්න පුළුවං නම් කොච්චර හොඳද?
Sunday, May 2
විරහවට මතුවුණු කවි
මම නම් විශ්වාස කරන්නෙ කවි කියන්නෙ 'ලියන්න' පුළුවන් දෙයක් නෙවෙයි 'ලියවෙන්න' ඕන දෙයක් කියල. අනික මට කවියක් ලියන්න ඕන කියල හිතුවට ලියන්නත් බෑ. ඒකටත් මං හිතන්නෙ වෙලාවක් තියෙනව. හොඳට හිතට වැදුනම නම් ලියවෙනව පට ගාල.
ඕකෙන් මේකෙන් මට කවි මඩුවට එකතු වෙන්නත් බයයි; හදිස්සියට ලියවුනේ නැත්නම්!
දැනුත් ලියවෙන්නෙ නැති හන්ද පරණ 'සිතුවිලි පොතෙන්' එකක් ඉස්සුව.
මේක බොහොම කාලෙකට ඉස්සර මගෙ අතින් ලියවෙච්ච එකක්......
ලිව්වෙ ඇයි කියල නම් අහන්න එපා.......

පසුබිම් පිංතූරය ගත්තෙ: මෙතැනින්
සඳ
විනිවිද
ලද
යනවද
බොඳවී
මුසුවී
තනිවී
හිමිවී
මොහොතේ
වැකෙතේ
වරතේ
නොවැටහෙතේ
Thursday, April 29
බිරින්දෑවරුන්ට සෙනෙහසින්!
වැවක් පුරා එක සීරුවට සුදු නෙළුම් පිපුණැයි මට හිතුණා
එදා නුඹ ඇහැ ගැහුණු දොහේ
අමාවක දා හඳ පායාලයි එදා මට හිතුණා.
(චන්ද්‍රිකා සිරිවර්ධන - එඩ්වඩ් ජයකොඩි)කොහේදෝ ගුවන් විදුලියකින් නැඟුනු හඬ මාව අතීතයේ අතරමං කළා වගෙයි මට දැනුනෙ. ඒ මට ඈ මුණගැහුණු මුල්ම දවස්.
මොකක්දෝ අමුතුම හැඟීමක් හිතට ඇතුල්වුනේ ඇයි? දැන් අපි වෙනස් වෙලා හින්දද? නෑ නෑ අපේ ආදරය තවමත් එහෙමමයි නේද? ඇත්තටම එහෙමද? මං ඈ ගැන හිතනව මදි නේද?
............
ඈ පුරුදු ජීවිතයට ආයුබෝවන් කියල මං එක්ක ජීවත් වෙන්න ගත්ත මුල්ම දවස්.
ඒ කාලෙ ඈ මොන තරම් පාළුවෙන් ඉන්න ඇත්ද? මා ඈ හමුවනතුරුත්, ඈ මා එනතුරුත් පෙරුම් පුරපු හැටි මට මතක් උනා.
සඳ එළිය ගලයි - සයුර දිගේ - ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ - සිතිජ ඉමේ - හිතට දුක දැනේ
මඳ පවන නිසල වී - රළ පෙළට තුරුළු වී
වැහි ළිහිණි රෑන් පමණි - මගේ දුකට හඬන්නේ
ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුළු සිරුර ගිනි ගනී//
රළ නඟන අඳෝනා - හද බිඳෙන වේදනා
පාළු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ
සඳ එළිය ගලයි.....
දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොළඟම නැඟි නැඟී//
දුර ඇදෙන ඔරු බඳේ - පිණි කඳුළු බිඳු රැඳේ
මාගෙ හදවතේ දුක ඔබ පමණි නිවන්නේ
සඳ එළිය ගලයි.....
(සමිතා මුදුන්කොටුව - වික්ටර් රත්නායක, වික්ටර් රත්නායක)අහන්න
...........
පුංචි පුංචි අඩ දබර වලදි මං කතා කරපු හැටි වැරදියි නේද? ඈ නැතුව මං කොහොමද ඉන්නෙ? මං නැතුව ඈ කොහොමද ඉන්නෙ?.......
කළේ පැන් ඇත - නැවුම් රහ නැත - මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කරවී - මොකද මන්දා ළිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත - මොකද මන්දා දිවට වූයේ
සැලේ ගහකොළ සුළඟ ඇත එද - සිහිල කොයි අත ගියාදෝ
කෝළ බව මුසු සිනා හඬ නැත - සවන් බිහිරිව ගියාදෝ
කළේ පැන් ඇත....
පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑගම් ගොහින් ///
(සුනිල් එදිරිසිංහ/කේ. ඩී. කේ. ධර්මවර්ධන/රෝහණ වීරසිංහ)අහන්න
..........
අපේ ජීවිත වලට වසන්තය උදා කරපු අපේ පුංචි පැටවු ටික....
උං මං එනකන් බලා ඉන්න හැටි, පෙරළි කරනකොට ඈ අමාරුවෙන් ඔවුන් පරක් කරන හැටි මට මතක් වුණේ උගුරෙ මොනවාදෝ හිර වෙද්දි.
රුක් අත්තන මල මුදුනේ
බමරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් - කවුරුද එන්නේ
මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා - පියමං කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ
රුක් අත්තන මල මුදුනේ.....
පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මියයන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් - කවුරුද එන්නේ
රුක් අත්තන මල මුදුනේ.....
(නන්දා මාලනී/මහින්ද අල්ගම/නන්දා මාලනී)අහන්න
ඈ එහෙම කියා දෙන්න ඇති.
පැටවුන්ට ගුරු හරුකම් දුන්නෙ මම නොවෙයිනෙ.....
..............
පොඩිඋං විතරද? මං ගැනත් හැමදේම හොයා බැලුවෙ ඈ නේද කිසිම කෙඳිරිල්ලක් වත් නොනඟා???? ඈ මේ සියළුම දේවල් කළේ කොහොමද දෙයියනේ?
ඇයි මට නොපෙනුණේ......????
මං මහ නරුමයෙක්, ගුණමකුවෙක්....
අතින'ත ගත් දා ඉඳලා
තම හිමිට සරණ - දූ පුතුන් සරණ කළ
බිරින්දෑවරුන් සංසාරේ
බුදුවරු වෙන්නද පෙරුම් පුරන්නේ//
බිරින්දෑවරුන් සංසාරේ //
කරදර ලිප ලා - උයා පිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා
අතින'ත ගත් දා ඉඳලා....
කඳුළැලි වියලා - හදතුළ සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුණ පමණක් මොලවනවා
අතින'ත ගත් දා ඉඳලා....
(සේනානායක වේරලියද්ද/මහින්ද කේ. ප්‍රේමසිරි/සේනානායක වේරලියද්ද)අහන්න
...............
ඈ නොහිටින්න මං තනියම මොනව කරාවිද?
හැමදේකටම දිරිය ශක්තිය උනු ඈ........
සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ
කරදර බාධක මඟ අහුරන දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ
බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මං සල්වල විඩා නිවා
ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ.....
(එඩ්වඩ් ජයකොඩි /තිස්සසිරි පෙරේරා/පී. බී. කවිරත්න)අහන්න
..............
සොඳුර, මෙතුවක් කල් ඔබ ගැන නොසිතුවාට මට සිය දහස් වාරයක් සමාවෙන්න.
මගේ මුළු ලෝකයම එළිය වූයේ ඔබගෙනි......
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින//
මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
නුඹ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්
උතුරයි ම'සිත තව නුඹ වෙත තුරුළු වෙමින්
බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ
(අමරදේව/සුනිල් ආරියරත්න/රෝහණ වීරසිංහ )
අහන්න
---***---
************************************
හඬන පොඩි පුතු නළව ගන්නට නිදන මට රහසින්
*************************************
**************************************
ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින්
වහා දස අත සුවඳ පිරුණා ඔබේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැඟු රළු පරළු හඬ අතරින්
ඔබේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්
මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්///
(සුනිල් එදිරිසිංහ)
මේක ලියන්න හිතුනෙ මං ළඟ තිබුණ පරණ කැසට්1ක් මතක් වෙලා. මං පුංචි කාලෙ ආසම සින්දු එකතු කරල කාණ්ඩ වලට බෙදල කැසට් වෙන වෙනම තියල තිබුණ. ජීවිතේටම දෙපාරක් විතරක් අහපු සින්දුවක් මතක් උනා ඒ එක්කම. මේක මම එදා ඉඳලම හොයන එකක්. ඒත් හම්බ උනේ නෑ. රේඩියෝ එකේ තමා දෙපාරම ගියෙ. දෙපාරම සංගීතය ඇහෙද්දිම දුවල ගිහිං පොතයි පෑනයි ගෙනාවත් ඒ වෙනකොට මුල් පද කීපය ඉවරවෙලා. ඒ නිසා මුල් පද 3ක් මට අමතකයි. ඒත් අනිත් ටික මතක විදිහට අකුරු කළා. ඔය අන්තිමට දාල තියෙන්නෙ ඒක තමා.
අනේ කවුරුහරි පිංවතෙක් ඉන්නව නම් මට මේක හොයා ගන්න උදව් කරන්න.
මේ එකම එක සින්දුවක් ගැනවත් මම මුකුත්ම කියන්නෙ නෑ. ඒක ඔයාලම අහල විඳගන්න.
මට වඩා ඉතාමත් හොඳට, මට පේනවට වඩා දහසක් දේ මේ සින්දු කියාවි.






