Showing posts with label error. Show all posts
Showing posts with label error. Show all posts

Tuesday, June 8

මේ මා දැන උගත් කවි කලාවයි.....-1

හැමෝම වගේ කවි ලියන්න උනන්දු වීම ගැන මට හරිම සතුටක් දැනුණා. ඒත් එක්කම බොහොමයක් දෙනාගෙ කවි වල මම දැකපු අඩුපාඩුත් ගොඩක් තිබුණා. වැරදි වැරදි හරි ලිව්වම තමයි පුළුවං වෙන්නෙ. කාව්‍යකරණයේ අපි නොදන්න රීති ගොඩක් තියෙනවා. දන්න දක්ෂ කවි කාරයො ඒව කියල දෙනව අඩුයි. මටත් මේව කවුරුවත් කියල දුන්න ඒවනම් නෙවෙයි. මමම කියවල, අහල, නිරීක්ෂණය කරල හොයාගත්ත ඒවා. ඔයාලත් බොහොමයක් දෙනා දන්නෙ නෑ කියල පෙනිච්ච හින්ද ලියන්න ඕනෙ කියල හිතුණා.
අපි සඳැස් කවියකින් බලාපොරොත්තු වෙන මූලිකම දෙයක් තමයි නියමිත විරිතක්, රිද්මයක් නැත්නම් සුගායනීය බවක්. සිව්පද කවියක් නම් පද හතරම එකම විරිතකට තියෙන්න ඕනෙ. ඊට අනුගතව තේරුම එන විදියට වචන හැසිරවීම තමයි දක්ෂතාවය. 
ඒ එක්කම එළිසමය. ඒකට අපි එළිවැට කියලත් කියනව. දැන් ගොඩක් වෙලාවට එළිවැට යොදන්නෙ අගට. මුලට, මැදට වගේම ඔය තුන් තැනටමත් එළිවැට යොදල කවි ලියන්න පුළුවනි. එළිවැට වැඩියෙන් යෙදෙන කොට තමයි කවියක ලස්සන වැඩිවෙන්නෙ. 
මේ දේවල් හොඳින් යොදා ගෙන තියෙන හැටි බලාගන්න පුළුවනි මම කළින් දාපු "මා සිත් ගත් කවි 1" සහ "මා සිත් ගත් කවි 2" පොඩ්ඩක් බැළුවොත්.
මේ රීති වලට අනුකූලව විතරක් ලියල මදි. ලියන කවිය දොස් වලින් තොරවෙන්නත් ඕනෙ. එක එක වර්ගයේ දොස් තියෙනව. කවියෙක්ගෙ දක්ෂතාවය මනින්නෙ මේ සියල්ල හරියාකාරව තිබීම උඩයි. 
අද කියන්න යන්නෙ 'යවහන්' දෝසෙ ගැන.
ඒ කිව්වෙ මෙහෙමයි. අපි අගට 'ය', 'ව', 'හ', 'න්' යෙදෙන විදියට කවියක් ඉවර කරනවනම් මුල්ම පදයේ ඒ අන්තිමට එන අකුරට මුලින් තියෙන අකුර අනෙක් සෑම පදයකමත් අන්තිමට කළින් යෙදෙන්න ඕනෙ. තේරුණේ නෑ නේද?

උදාහරණ 1 :-  'න්'
මේ බලන්නකො මේ කවිය. 
හැමෝම දන්නවනෙ සැලළිහිණි සංදේශයේ මුලම එන කවියක්. 
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින් 

බලන්න 'න්' යන්නෙන් ඉවර වුණ නිසා මුල් පදේ 'න්' ට කළින් එන 'ටි' යන්න හැම එකේමත් යොදල තියෙනවා. 
වටින්
පිටින්
අටින්
තොටින් 
වැඩේ ටිකක් අමාරුයි වගේ නේද? එහෙම නෑ පුරුදු වුණාම හරි යනවා. වචන හුඟාක් දැනගෙන සිටීම තමයි රහස. එතකොට තාලෙට හරියන පදය ඉබේටම දිව අගට එනව. 

අයියනායක - විමලරත්න කුමාරගම 
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්
 උදාහරණ 2 :-  'ය'
මේ සුභාෂිතයෙ කවියක්.
කුරිරු ගොර සපුන්ගේ දළගෙහි වි
මදුරු මැසි කැළන්ගේ තුඩගෙහි වි
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි වි
නපුරු දුදනන්ගෙ සියොළඟෙහිම වි

මේ සුනිල් එදිරිසිංහයන්ගෙ සින්දුවක කොටසක්. 'සිපිරි මාලයේ කවි'. ලියල තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්න. 
ලැබුවේ අවවාද නොහොබින ආර
දුදනන් නිසා විය හෙනහුරු මාර
මං පෙර ගියේ වරදින් පිරි පාර
ඒ ගිය මගේ අවසානය පෝර 

 'හ' සහ 'ව' යන්නෙන් උදාහරණ පසුවට.......

Wednesday, May 19

අපේ භාෂාව කොයිබටද?

සිංහල බ්ලොග්කරණය, සිංහල යුනිකෝඩ්, සිංහල ටයිපින් අද හරිම ජනප්‍රියයි. කොච්චර දෙයක්ද? මේ දේවල්වලට මහන්සි උනු හැමෝටම බොහෝමත්ම පිං.

අපි අද පාවිච්චි කරන්නෙ හරි සිංහලද?

නිකමට බලන්න පාරෙ යනකොට එල්ලල තියෙන බැනර්, කටවුට්, පෝස්ටර් සහ අනෙකුත් දැන්වීම් දිහා. හරියට භාෂාව පාවිච්චි කරපුවා හොයන්න කළුනික හොයනවටත් වඩා අමාරුයි නොවැ.

ඊළඟට පත්තරේ ගන්නකො. මරු හෙඩිම් නේද තියෙන්නෙ?

ටී වී එකේ හරි රේඩියෝ එකේ හරි නිව්ස් ඊට හපං. මේව දැකල පණ පළයං පෙරේදා කිව්වලු.

වැරැද්ද ඉස්කෝලෙනම් වෙන්න බෑ. මොකෝ ඉස්කෝලෙ 1 වසරෙ ඉඳල 11 වසර වෙනකම්ම සිංහල විෂයක් හැටියට උගන්නනවනෙ. නිවැරදි ව්‍යාකරණ රීති, නිවැරදි අක්ෂර වින්‍යාසය, උපමා, උපමේය, සන්ධි, සමාස, ප්‍රත්‍ය එකී - මෙකී - නොකී සියළු දෑ කියල දෙනවනෙ. අපිත් ඉගෙන ගන්නවනෙ. මතක තියාගෙන, පාඩම් කරල විභාගෙත් පාස් වෙනවනෙ. ඊට පස්සෙ පාවිච්චි කරන්නෙ නැති එක තමා කොස්ස.

ඇයි සිංහල වලට විතරක් කුඩම්මගෙ සැළකිලි? ඉංග්‍රීසි ලියන කොට හරි, කියන කොට හරි පොඩි ස්පෙලිං මිස්ටේක් එකකට නැත්නම් ග්‍රැමර් ටිකක් වැරදුණාම ඒක අපිට බොහොම ලැජ්ජාවට කාරණයක්. වහාම සමාව ඉල්ලල හරි ගස්සනව. සිංහල වැරදුනාද කියලවත් දන්නෑ.

ඇයි අපිට එහෙම දෙයක් වැදගත් වෙන්නෙ?

එකක් තමයි අපිවත් ඕව හරියට පාවිච්චි කලේ නැත්නම් අපේ දරුවන්ගෙ කාලෙ වෙනකොට 'මේ අපේ දේවල්' නැත්තටම නැතිවෙලා යාවි.
අනික තමයි සිංහල කියන්නෙ මහා පුදුමාකාර භාෂාවක්. පොඩ්ඩක් බලන්න සිංහල කෙනෙකුට නිවැරදිව උච්චාරණය කරන්න බැරි එක අකුරක්, වචනයක් තියෙනවද වෙන කිසි භාෂාවක?

භාෂාවක් පෝෂණය වෙන්නෙ කාලයත් එක්ක එකතු වෙන විවිධ භාෂාවලින් බිඳී එන අලුත් වචන වලින්. ඒක හරි. එහෙමෙයි කියල අළුතින් දළු දාපු පළියට මුදුන් මුල කපා දාන එක හරිද?

පොඩි එකා කියන එක ලියන්නෙ "ළමයා" කියල මිසක් "ලමයා" කියල නොවෙයි කියන එක අපි ගුටි කකා ඉගෙන ගෙන තියෙනව. ඒත් පාවිච්චි කරන්නෑ.

කතා කරන භාෂාව අපි හැමෝම නියමෙට පාවිච්චි කරනව. ඒත් යමක් ලියන කොට ටිකක් වෙනස් නේද? අපි 'කල' කිව්වම එන අදහසත් 'කළ' කිව්වම එන අදහසත් දෙකක්. මුල් එකෙන් හැඟවෙන්නෙ 'කාලය' දෙවැන්නෙන් 'කරන ලද ක්‍රියාව'. අද මේ 'න ණ ල ළ' භේදය යොදන්නෙ කීයෙන් කී දෙනාද? අපි දන්න විදියට දන්න දේ සිංහල ලියද්දි භාවිතා කරමු. එවිට එකිනෙකාගෙන් ලබ ගන්න ගුරු හරුකම් වලින් අපේ දැනුම පෝෂණය වේවි. මේවා බලන අපේ බාල පරපුරට හරවත් යමක් ඉතිරි වේවි.

අනික අපි දිගින් දිගටම වැරදි දේ යොදා ගනිද්දි ඒක සමාජයේ සම්මතයක් බවට පත් වෙනවා කොච්චර වැරදි උනත්. හරියට අර පහුගිය කාලෙ කතා උනු ගොබෙල්ස් න්‍යාය වාගෙ. ඒක වෙන්නෙ අපි නිතර දකින දේ අපේ ඇහැට හුරු වෙලා ඒක නියතයක් බවට පත් වෙනවා. අපි කොච්චර අක්ෂර වින්‍යාස රීති පාඩම් කළත් අපිට ඒව මතක තියෙන්නෑ. අපිට මතක අපේ ඇහැට හුරුවුණු එක.

උදාහරණයක් විදියට මට යම්කිසි වචනයක් හරියට ලියන විදිය මතක නැත්නම් මම කරන්නෙ මට සැක හිතෙන ආකාර කීපයකට ඒ වචනය ලියල බලල වඩා හුරු වචනය තෝරා ගන්න එක. මට ලියන්න ඕනෙ වෙනවා 'පෝසනය' කියන වචනය. මම ඒක ලියල බලනව...

  • පෝශනය
  • පෝෂනය
  • පෝශණය
  • පෝෂණය

මට මතක නැති වෙනව "ෂ"යන්නට පස්සෙ එන "න"යන්න හැමවිට "ණ" බව. සමහර විට මම හැමතැනම දැකල තියෙන්නෙ 'පෝෂනය' කියල නම් මම තෝරගන්නෙ ඒක වෙන්න පුළුවන්; හරි එක වෙන 'පෝෂණය' වෙනුවට. මේ වැඩේ දිගින් දිගටම ගියොත් මොනවා නම් සිද්ධ නොවේවිද?

අද ගොඩක් අයට උක්ත අනුක්ත පද අමතකයි. "අප සංවත්සර උත්සවයට සහභාගී වීමු" කියනව ඒකෙ අමුතු ලස්සනක් තියෙන නිසාද මන්ද. ඒක "අපි" වෙන්න ඕනෙ කියල මතක නැතුව. මේව බොහොම ප්‍රසිද්ධ නිවේදක - නිවේදිකාවො, පුවත්පත් කලාවේදීන් සහ නොයෙකුත් වග කිවයුතු අය පාවිච්චි කරනව කිසිම වැරැද්දක් පිළිබඳ දැනීමකින් තොරව. එයාල එහෙම කියපුවාවෙ...

අපි පටන් ගනිමුද හරි දේ?

මම මට හරිය කියල හිතෙන විදියට තමයි හැමතැනම; පොඩි කමෙන්ට් එකක පවා, භාෂාව පාවිච්චි කරන්නෙ. මගෙත් වැරදි අනන්ත ඇති. ඒත් මට සැක සහිත තැනකදි ආදර්ශයක් ලබාගන්න තැනක් ඇත්තේම නැති තරම්, තියෙනවනම් අතේ ඇඟිලි ගානටත් අඩුයි!

අනේ අපි හරි දේ කරමු.

ටයිප් කරන්න නම් ටිකක් අමාරුයි තමයි. ඒත් පුරුදු උනාම හරියනවා.

මොන භාෂාවක් උනත් නියම විදියට ඉගෙන ගෙන පාවිච්චි කරන එකයි වටින්නෙ. එහෙම නේද?
අපි හරියට සිංහල භාවිතා කරන්න පටන් ගනිමුද බ්ලොග් වලින්වත්?