Tuesday, June 8

මේ මා දැන උගත් කවි කලාවයි.....-1

හැමෝම වගේ කවි ලියන්න උනන්දු වීම ගැන මට හරිම සතුටක් දැනුණා. ඒත් එක්කම බොහොමයක් දෙනාගෙ කවි වල මම දැකපු අඩුපාඩුත් ගොඩක් තිබුණා. වැරදි වැරදි හරි ලිව්වම තමයි පුළුවං වෙන්නෙ. කාව්‍යකරණයේ අපි නොදන්න රීති ගොඩක් තියෙනවා. දන්න දක්ෂ කවි කාරයො ඒව කියල දෙනව අඩුයි. මටත් මේව කවුරුවත් කියල දුන්න ඒවනම් නෙවෙයි. මමම කියවල, අහල, නිරීක්ෂණය කරල හොයාගත්ත ඒවා. ඔයාලත් බොහොමයක් දෙනා දන්නෙ නෑ කියල පෙනිච්ච හින්ද ලියන්න ඕනෙ කියල හිතුණා.
අපි සඳැස් කවියකින් බලාපොරොත්තු වෙන මූලිකම දෙයක් තමයි නියමිත විරිතක්, රිද්මයක් නැත්නම් සුගායනීය බවක්. සිව්පද කවියක් නම් පද හතරම එකම විරිතකට තියෙන්න ඕනෙ. ඊට අනුගතව තේරුම එන විදියට වචන හැසිරවීම තමයි දක්ෂතාවය. 
ඒ එක්කම එළිසමය. ඒකට අපි එළිවැට කියලත් කියනව. දැන් ගොඩක් වෙලාවට එළිවැට යොදන්නෙ අගට. මුලට, මැදට වගේම ඔය තුන් තැනටමත් එළිවැට යොදල කවි ලියන්න පුළුවනි. එළිවැට වැඩියෙන් යෙදෙන කොට තමයි කවියක ලස්සන වැඩිවෙන්නෙ. 
මේ දේවල් හොඳින් යොදා ගෙන තියෙන හැටි බලාගන්න පුළුවනි මම කළින් දාපු "මා සිත් ගත් කවි 1" සහ "මා සිත් ගත් කවි 2" පොඩ්ඩක් බැළුවොත්.
මේ රීති වලට අනුකූලව විතරක් ලියල මදි. ලියන කවිය දොස් වලින් තොරවෙන්නත් ඕනෙ. එක එක වර්ගයේ දොස් තියෙනව. කවියෙක්ගෙ දක්ෂතාවය මනින්නෙ මේ සියල්ල හරියාකාරව තිබීම උඩයි. 
අද කියන්න යන්නෙ 'යවහන්' දෝසෙ ගැන.
ඒ කිව්වෙ මෙහෙමයි. අපි අගට 'ය', 'ව', 'හ', 'න්' යෙදෙන විදියට කවියක් ඉවර කරනවනම් මුල්ම පදයේ ඒ අන්තිමට එන අකුරට මුලින් තියෙන අකුර අනෙක් සෑම පදයකමත් අන්තිමට කළින් යෙදෙන්න ඕනෙ. තේරුණේ නෑ නේද?

උදාහරණ 1 :-  'න්'
මේ බලන්නකො මේ කවිය. 
හැමෝම දන්නවනෙ සැලළිහිණි සංදේශයේ මුලම එන කවියක්. 
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින් 

බලන්න 'න්' යන්නෙන් ඉවර වුණ නිසා මුල් පදේ 'න්' ට කළින් එන 'ටි' යන්න හැම එකේමත් යොදල තියෙනවා. 
වටින්
පිටින්
අටින්
තොටින් 
වැඩේ ටිකක් අමාරුයි වගේ නේද? එහෙම නෑ පුරුදු වුණාම හරි යනවා. වචන හුඟාක් දැනගෙන සිටීම තමයි රහස. එතකොට තාලෙට හරියන පදය ඉබේටම දිව අගට එනව. 

අයියනායක - විමලරත්න කුමාරගම 
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්
 උදාහරණ 2 :-  'ය'
මේ සුභාෂිතයෙ කවියක්.
කුරිරු ගොර සපුන්ගේ දළගෙහි වි
මදුරු මැසි කැළන්ගේ තුඩගෙහි වි
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි වි
නපුරු දුදනන්ගෙ සියොළඟෙහිම වි

මේ සුනිල් එදිරිසිංහයන්ගෙ සින්දුවක කොටසක්. 'සිපිරි මාලයේ කවි'. ලියල තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්න. 
ලැබුවේ අවවාද නොහොබින ආර
දුදනන් නිසා විය හෙනහුරු මාර
මං පෙර ගියේ වරදින් පිරි පාර
ඒ ගිය මගේ අවසානය පෝර 

 'හ' සහ 'ව' යන්නෙන් උදාහරණ පසුවට.......

15 comments:

  1. නියමයි ...

    [දිගටම ලියන්න.... මේ ගැන ]

    ReplyDelete
  2. එළිසමය තියල ලියන එක ටිකක් අමාරු වුනත් ඒකෙන් තමා කවියේ නියම ශබ්ද රසය නැගෙන්නෙ. තමන්ගේ ශබ්ද කෝෂය, බොහෝ පද, යෙදුම්, වචන වලින් පොහොසත් කෙනෙකුට මේක ඒතරම් ම අමාරු කාරියකුත් නෙවෙයි.

    ReplyDelete
  3. ලස්සනට ලියලා තියෙනවා...ඒ හින්දම ප්‍රතිචාර නොදා යැමට සිත දුන්නේ නැ..
    කවි පිලිබද ව මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්..සමහර කවි මාව උත්තේජනය (Excite) කරනවා..ඒ ඇයිද කියන්න මට තේරෙන්නේ නැ..සමහර විට ඔබ සදහන් කරන නිති..අනුගමනය කරන කවි මා වැනි සාමාන‍‍ය්‍ය පුද්ගලයකුට පවා කවි රස ප්‍රෙරනය කරනවා වෙන්න ඇති..
    ලිපියට ස්තුතියි

    ReplyDelete
  4. හුඟාක් වටිනවා නංගි, ඒ වගේම බොහෝම වටිනවා බෙදා හදා ගැනීමත්.. කාලෙකින් නේද? කොහෙද ගියෙ. රීති තියෙනවා කියලා අහලා තිබ්බට දැන ගෙන හිටියෙ නැහැ. මේ ගැන වෙලා ඇති හැටියෙන් ලියන්න. සමාජ මෙහෙවරක්!!!!!!!

    ReplyDelete
  5. එලිවැට එලිසමය කියන්නේ දෙකක් කියල මම අහල තියෙන්නෙ. එලිසමය කියන්නේ rhyme කියන එකට නේද ?

    ReplyDelete
  6. වැප්,
    පිං අයිති වේවා

    සුමින්ද,
    ඒක ඇත්ත. කොයිම භාෂාවක උනත් සාහිත්‍ය පැත්ත නම් ඉතිං ඒ භාෂාව පරතෙරට නොදැන හිටියොත් කොට උඩ තමා!

    Yasela,
    ඒකනෙ! ඔය මොනවම හරි නොලිය ගියොත් අපි දන්නෑනෙ අයියල මේව බැලුවද කියලවත්. ඔන්නොහේ මොනවම හරි ලියලම යන්න. බැන්නත් කමක් නෑ. හික්ස්
    ඇත්ත කතාව. කවියක් දෑසින් බලාගෙන කියෙව්වත් අපේ ඔලුවට යන්නෙ ශබ්ද රසය එක්ක බැඳිලා. ඒ නිසානෙ නිසඳැසකට වඩා සඳැසක් අපේ මතකෙ තියෙන්නෙ. අපි පුංචි කාලෙ ඕව දැනගෙනද 'දත් කැකුළු පාලා', 'රන්වන් පාටයි සමනළයා', 'රෝස මලේ නටුවෙ කටූ', 'මා වැනි බිළින්දා' එහෙම හරි ආසාවෙන් කට පාඩමින් කිව්වෙ.

    nethu,
    ඔයාටත් පිං අක්කෙ. පහුගිය ටිකේම කරදර. මුකුත් ලියන්න හිතේ නිදහසක් තිබුණෙ නෑ. ඩෙංගු වලට යාලුවෙක් බිලි වුනා. එපා වෙලා හිටියෙ.

    tharindu,
    මං දන්න විදියට නම් තරිඳු දෙකම එකක්. එළිසමය කියන්නෙ rhyme තමයි. එළිවැට කියන්නෙත් ඒකමයි කියලයි මම අහල තියෙන්නෙ.
    කොහොම උනත් "සඳැස රඳා පවතින්නේ කථනයේ එළිසමය හා මාත්‍රාව මත" කියනවනෙ. අද බොහෝවිට යෙදෙන්නෙ පරිපූර්ණ එළිසමයේ අවසාන අක්ෂර යෙදෙන අන්දමේ එළිසමයන් (perfect rhyme --> tail rhyme). ඉතිරි වචන ටික යෙදෙන්නෙ මාත්‍රාව අනුව. සාමාන්‍ය ව්‍යවහාරයේදි අපි එළිවැට කියන්නෙත් ඒකටමනෙ? හැබැයි මම හරියටම දන්නෙනෑ. ටිකක් හොයල බලන්න ඕනෙ.

    ReplyDelete
  7. ඇත්තටම මේ කරුණු ගැන දිගටම ලියන්න..තමන් දන්නදේ මේ විදියට නොදන්නා අයට කියල දීමඇත්තටම ගොඩාක් වටිනවා.
    බොහෝමත්ම ස්තූතියි..! නංගී

    ReplyDelete
  8. බොහොමත්ම වටිනා ලිපියක්...

    මා මුලින් සිතූදේ හරි කියල ආයෙත් හිතෙනවා..
    Freedom,
    නුඹ මේ අවකාශයට සම්පතක් !

    -ජය

    ReplyDelete
  9. ඉතා වැදගත් ලිපියක්, මේ ගැන දිගටම ලියන්න. දැන් කාලෙ අපිට මේ වගේ දේවල් ඉගෙනගන්න තියෙන අවස්ථා හරිම අඩුයිනෙ.
    එළිවැට හා එළිසමය කියන්නෙ දෙකක් කියල මමත් අහලා තියෙනව වගෙයි මතක, ඒත් එළිසමය(rhyme)ගැන මතක වුනාට එළිවැට ගැන හරි මතකයක් නෑ...

    ReplyDelete
  10. බොහෝ වටිනා කාර්යයක් නගේ.
    තවත් ගොඩාක් කරන්න දහිරිය ශක්තිය ලබේවා!
    මීට වඩා ලියන්න වචන නැහැ.

    ReplyDelete
  11. කලින් "පෙනිලා" තිබුනත් "නොදුටුව" නොතිබුණු දෙයක් ඉගන ගත්ත. ඉතින් බොහොම ඉස්තුතිය් ලිව්වට! :)

    ReplyDelete
  12. මඩු දාගෙන කවි ලියුවත් මේ වගේ මුලික කරුණූ කාරනා දන්නවා අඩුයි වර්ථමාන පරපුර. මේ පිළීබදව උනන්දු වී අපව දැණුවත් කරන්න ගන්නා මේ උත්සහය අගය කරමි.

    ReplyDelete
  13. nimanthi,
    ශෙහ් මන්දාකිණිය අඳුර ගත්තෙ පස්සෙ නෙවැ. කවුදෑ දන්නෙ ඉතිං 'නිමන්ති'ය කිව්වම?

    යෝගී,
    හපොයි අයියෙ හරිම බර සාර වචන දෙකක් නොවැ. ඉංතේරුවෙන්ම මම නම් නෙවි ඕං.

    නිශාචරයා,
    ඒක නෙවෙන්නං. හැබෑටම් එළිවැට මොකද්ද කියල හරියටම හොයල බලන්න ඕනෙ.

    ගල්-මල්,
    අයිය ඉතිං කවදත් මල් නොවැ එවන්නෙ.

    janithck,
    හැබෑටම! මාත් හරි අමාරුවෙන් තමා දකින්න පටන් ගත්තෙ. නිකංම පෙනෙන්නෑ නොවැ.

    ගීත්,
    ඔය 'වර්ථමාන' කිව්වම මාත් ඒකෙ ඉන්නව හොඳේ. නිකං මාව නාකි කරන්න හදන්න එපා හරිද? හිහ් හිහ්
    ඒ කවි මඩුව නම් ඇත්තටම නියමයි. ඔයාලටත් පිං ඒ වගේ දෙයකට මුල් උනාට.

    ReplyDelete
  14. එළිවැට කියන්නෙත්, එළිසමය කියන්නෙත් දෙකක් නෙවි, එකක්. මුලට , මැදට , අගට එකම විදියට යෙදෙන අකුරකින් හෝ අකුරු කිහිපයකින් කවි ලිවීම එළිවැට (එළිසමය) රැකීමයි. Rhyme මීට වෙනස් දෙයක් නේද?
    "දුගී දන නැති බැරී
    කරමු අය ඇති හැකී"
    කිව්වම rhyme වෙනවා..ඒත් එළිසමය හෙවත් එළිවැට නැහැ.

    ReplyDelete
  15. එන්න!
    ඇවිත් සීපද ලියන්න.

    https://www.facebook.com/?sk=group_140026856008802

    කවි කලාව ගැන දැනුම බෙදා-හදා ගන්න :)

    ReplyDelete