Sunday, July 18
අයැදිමි...
Tuesday, July 6
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
දීපංකො උත්තර!!!
කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා,
අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
ආලවඩන ඔමරි ලතා, බාල බොළඳ මිහිරි කතා
හැමදාමත් එක විදියට නෑ පවතින්නේ
මේ කන්නත් පහුව යාවි, අපි දෙතැනක වයස යාවි
ඉර හඳ තරු අපි වෙනුවෙන් නෑ නවතින්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
වනේ දුවන මුවන් බලා, හෙළා ඉවත නෙලූ පලා
නඟේ ඔහොම කොපමණ කල් ඉන්නද යන්නේ?
මට මව්පියො දොස් කියාවි, වෙන එකියක් ගැන සොයාවි
මම නම් නැහැ තනි පැදුරක වයසට යන්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
කිරුළ උරුම කුමාරයෙක්....
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?//
අහනවනං මේං
එඩ්වඩ් ජයකොඩි
සෝමරත්න දිසානායක
රෝහණ වීරසිංහ
Tuesday, June 22
මා සිත් ගත් කවි 3 - A Letter to His Daughter
නාහෙට නාහන දඩබ්බර ගතියයි, කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න මවා ගත්තු රළු ගතියයි, කවදාවත්ම නොසංසිඳෙන ස්වාධීනබවේ පිපාසාවයි නිසාමදෝ අවුරුදු දහයක පුංචි කෙලි පොඩිත්ති මේ ලියුම කියවගෙන යද්දි පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ.
ඊට අවුරුදු කීපයකට පස්සෙ තාත්ත ගෙදර එද්දි දෝණියන්දෑ මේ සියළු අවවාද පිළිපැදල තිබුණත්, තාත්තගෙන් ගොඩක් දුරස් වෙලා කියල දැනුණු වෙලාවෙ තාත්තට කඳුළු හංගා ගන්න බැරිවුණා. ඒත් ඒ කඳුළු වලටවත් ඇගෙ දෑස තෙමන්න බැරිවුණා.
තවත් ටිකක් ලොකු වුණාම තමයි ඈට තේරුණේ ආදරය තියෙන්නෙ ලබා දෙන්න කියල.
ඒ ඇගේ කතාව.
මම මේ ලියුම මෙතන දාන්නෙ සියළුම දූවරුන්ට සහ පුතුන්ට.....
සියළු දෙමව්පියන්ට උපහාරයක් විදියට....
පැහැදීමෙන් යුතුව සිප්සල වෙත යන්න
වගකීමෙන් යුතුව සිප්නැණ දැනගන්න
සැළකීමෙන් යුතුව ගුරුසිත දිනමින්න
ඉගෙනීමෙන් යුතුව හොඳ දරුවකු වන්න
ගුරුමව් වරුන් හා ගුරු පියවරුන් වෙත
වැදුමව් වෙතට පානාමෙන් කුළුණුමෙත
කළපව් වැරදි හැරගන්නට තුටුව සිත
ගුරුදෙව් ලෙසින් හැමදා නමදින්න පුත
ඉගෙනීමට මෙන්ම හොඳ ගතිවලට හුරු
පුරුදුව සිටීමෙන් ලැබගත හැකිය ගරු
සැළකිලි ඇතිව ගිය විට සබයකට සරු
රැකගත හැකිය මුල්තැන කවදටත් හුරු
මුල්තැන ලැබී උඩඟුව උඩ පැනීමෙන්
වැළකී සිටිනු මැන කටමැත දෙඩීමෙන්
රැකගෙන සතුට සාමය ජය ලැබීමෙන්
හොඳ විය යුතුය ඔවදන් පිළිපැදීමෙන්
ඉගෙනීමට වැඩිය හිත දිරිකරගන්න
බොඳවීමට නොදී හොඳ නම රැකගන්න
සැනසීමට ඔබේ මව් තුරුලට යන්න
සිහිවීමට මගේ පිය සෙනෙහස මෙන්න
විහිදුව මින් ගුණය ජයටැඹ වෙත යන්න
මිරිඟුව ඒ දෙසම ඇතිබව දැනගන්න
සිරිදුව විලස ලොවටම යහපත දෙන්න
පොඩිදුව මගේ සුවඳැති කැකුළක් වන්න
Tuesday, June 8
මේ මා දැන උගත් කවි කලාවයි.....-1
මේ රීති වලට අනුකූලව විතරක් ලියල මදි. ලියන කවිය දොස් වලින් තොරවෙන්නත් ඕනෙ. එක එක වර්ගයේ දොස් තියෙනව. කවියෙක්ගෙ දක්ෂතාවය මනින්නෙ මේ සියල්ල හරියාකාරව තිබීම උඩයි.
ඒ කිව්වෙ මෙහෙමයි. අපි අගට 'ය', 'ව', 'හ', 'න්' යෙදෙන විදියට කවියක් ඉවර කරනවනම් මුල්ම පදයේ ඒ අන්තිමට එන අකුරට මුලින් තියෙන අකුර අනෙක් සෑම පදයකමත් අන්තිමට කළින් යෙදෙන්න ඕනෙ. තේරුණේ නෑ නේද?
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
වටින්
පිටින්
අටින්
තොටින්
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්
කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විසය
මදුරු මැසි කැළන්ගේ තුඩගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය
නපුරු දුදනන්ගෙ සියොළඟෙහිම විසය
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
Tuesday, May 25
අනේ බුදුහාමුදුරුවනේ, අපිට මොකටද වෙසක්? ( wesak! what for??)
අනේ බුදුහාමුදුරුවනේ මට ඔබ වහන්සේ මතක් වෙන්නෙ වෙසක් කාලෙට විතරමයි.
ඔබ වහන්සේ ඉපදුනේ, බුදු උනේ, පිරිනිවන් පෑවෙ වෙසක් දවසෙලු.
ඒ හින්දා මං දන්සැල් දාල, තොරණ් ගහල, පන්සලේ පිංකම් තියල "දානපති අසවලා" කියල කොහොම හරි කියාගන්නවා.
කොහෙද? මුං වෙලාවකට මගෙ නම කියන්නෑනෙ.
වෙසක් ලබනවා තොරණ් බඳිනවාතැන තැන දන්සැල් ඉදිවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් සිරිලක රජ වෙනවා
දන්සැල් කාලය නිමවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් රජකම හැරයනවා!
කාට පේන්නද අනෙ මන්දා?
නම්බු රැකීමයි නිවන් දැකීමයි
එක මඟ යන්නේ කොහොමද මන්දා? ///
Monday, May 24
උණු උණු වෙසක් ගීතයක් සමඟ සිතන්නට බොහෝ දේ !
පංසලේ කෝවිලේ පල්ලියේ දෙවියනේ
ජීවිතේ බර බාර දී වැඳ යාදිනා දුක් යාතිකා
නෑසුනේදෝ ඔබට මිනිසා
චෝදනා කළ කාරණා //
අවිදරා අත එකිනෙකා මැඩ
නෑ ලොවේ සාධාරණේ
ඔබ කතා නැත බිඳ වැටීලද
සාමයේ පූජාසනේ
කෝ මගේ දෙවියෝ
කෝ අපේ දෙවියෝ //
වරද කාගෙද නැතිද දඬුවම්
නීතියේ දෙව් නීතියේ
බණ පොතේ බණ, බයිබලේ පද, ගීතිකා දේවාලයේ
බුදු පියාණෙනි, දෙව් පියාණෙනි, කුරුසියේ, අල්තාරයේ
ලෝකයා හමුවේ සාමයේ මහිමේ
දෙසනු ආයේ නැවත බිහිවී
දේශනා, බණ දේශනා
ජීවිතේ බර බාර දී වැඳ.....
ආගම්වල නාමයෙන් එකිනෙකා ඇනකොටා ගන්න මේ කාලෙ මේ ගීතය අපිට හිතන්න බොහෝ දේ ඉතිරි කරල තියෙනව නේද?
Saturday, May 22
මා සිත් ගත් කවි - 2. (කවි මඩු)
රට තොට නම නම් වේගයෙන් ගියා
අමරසිංහ නම් නියම සිංහයා
මේ ඔක්කෝටම නෙළන්නම් කියා
මාකඳුරෙන් ඇවිදින්ලු චණ්ඩියා //
සිරියා ඉන්නේ දැන් කෙළවරමයි
මටත් තියෙන හොඳ නෑකම නියමයි
රහසක් පවසමි ඔබටත් පුදුමයි
රෑට නිදාගන්නෙත් මගෙ ළඟමයි //
මී පැණි හලන්නට ඔබගේ දෙසවනට
දස්කම් මටත් හිමිවී ඇත පෙර පිනට
මගෙ කයිවාරු ගැසුවා මෙහි ඇති දැනට
ආභරණයක් වෙන්නම් දැන් මුල'සුනට //
කහවත්තේ පැවති කවි මඩුවකදීය.
ගාල්ලේ ජී. ඇම්. අජිත් මුලසුන හොබවමින් කවි කිවිඳියන් හඳුන්වා දුන් අයුරුයි ඒ. මෙහි සඳහන් කරන ලද්දේ වාදයට සහභාගී වන දෙදෙනාගේ හැඳින්වීම පමණි.
මුලාසනය:
පෙරහැර එක දිගට යනකොට නැත එළියක්කවියා:
මට ඒ වග හිතුණි තනියම දහ වලියක්
එහෙනම් ඉතිං අරඹන්නද ගිනි කෙළියක්
අප්පුඩියක් ගහමු ඇතිවෙන්නට ජොලියක්
පසු බැස නොමැත මාකඳුරේ අමරේලා
සටනට පා තබති කොහොමත් සිරියාලා
ඔහුවයි ඇයයි මෙහි ඩිංගක් පටලාලා
දැන් මම බලන්නම් හැමටම රස දීලා
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ
කිවිඳිය:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව
කවියා:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි
කිවිඳිය:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ
කවියා:
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ
කිවිඳිය:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා.........
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා
කවියා:
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ
කිවිඳිය:
අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී
කවියා:
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?
කිවිඳිය:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල
කවියා:
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය
කිවිඳිය:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ
කවියා:
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්
කිවිඳිය:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා
මුලාසනය:
හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!
Wednesday, May 19
නාරද දිසාසේකර අද නිහඬ වෙලා!!!

පිපී රේණු නටන මලක හැප්පී, ළා දළු වන මල්ද හිමිහිට සෙළැවූ පවන් රොදක් මට වරෙං වරෙං කියා අඬගැසුවේය.
ඒ ඇරයුමින්ම මගේ මතකයේ නිම් තළා බිඳ අතීතයේ ගඟ ගලා බසින්නට පටන් ගති.
ඈත ගව් ගණන් දුරින් පාවී ආ විලාසිතා අතරින් ආදර නිල් දෑස ඔහුට හමු වූවිට, මුළු හදින්ම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මවා ඇය තවෙකෙකුට අයිතු වුණු හැටි බලා දුක් වූවත් පසුව ඇය නාමලින් දිනූ ලියක්දැයි ඔහුට සිතුණු වාරද අනන්තය.
පසුව ඔහුගේ හද මාළිගයේ අභිෂේක ලබාගත් ඈ රන් ගිර'ගින් රන් බඳුනට රන් මසුරන් වැටෙන හඬ ඇසී සතුටින් සිනා නැඟුවාය.
එහෙත් සලිත විලෙක රළ පෙළ විලසින් තණ්හාව නැඟෙනු දුටු විට රන් රිදී වස්තුව එපා කියා ඔහු එය අතහැර දැමීය.
මලින් මලේ රේණු උරමින් පෙම් හබ වල පැටලී සිටියත් උපන් බිමෙ උරුමය රැක ගන්නටත් පෙරටම ගියේ "සවිබල යකඩ වගෙයි අපෙ අත්වල - එඩිතර ගතිය තිබෙයි අපෙ හිත්වල" කියමිනි.
ජීවිතේ ගලන ගඟක් වගේ දුටු ඔහු පුරුදු ජීවන මං තලයේදී ලෝකයේ ගමන නොනිමෙන බවද දුටුවේය.
හිමින් හිමින් පිටුපස්සෙන් තවලම යන්නා වාගේ ගෙවෙන ජීවිතයේ උදාසීන බවද අවසන් කාලයේදී ඔහුට පෙනිණි.
"ජනන මරණ දෙකෙහි බැඳුණු බොරු ආටෝපේ
කොතෙක් දිනක් බලා සිටිමි නිවටෙකු වාගේ
නිවන් සොයා වල්වැද යමි සැණකෙළි ලබමින්"
අවසන මෙසේ කියමින් කුඩ මස්සකු සේ අනන්ත සයුරේ අප තනිකරදමා ඔහු පිටත් විය.
තනිකම වැළපේ. එනමුදු ඔබට නොපෙනේ.
මගේ මුළු හද පාළු හේනකි - කාට මේ දුක කියම්දෝ???
දුකට මුල ආදරය යනබව නොදත්තෙමි නාරදයෙනි....!!!
"දෛවය එක ලෙසයි කාටත් එළඹෙන්නේ
එය කිසිවිටක නැත කිසි තැන පැකිළෙන්නේ
බියකරු රෝගයක සළකුණු පවසන්නේ
අපිහැම තනිඋනා නාරද නැත එන්නේ"
මේ භවයෙදි මුළු දියදායේ - උපදිනු මැන මෙහි ඔබ ආයේ !!!!
අපේ භාෂාව කොයිබටද?
සිංහල බ්ලොග්කරණය, සිංහල යුනිකෝඩ්, සිංහල ටයිපින් අද හරිම ජනප්රියයි. කොච්චර දෙයක්ද? මේ දේවල්වලට මහන්සි උනු හැමෝටම බොහෝමත්ම පිං.
අපි අද පාවිච්චි කරන්නෙ හරි සිංහලද?
නිකමට බලන්න පාරෙ යනකොට එල්ලල තියෙන බැනර්, කටවුට්, පෝස්ටර් සහ අනෙකුත් දැන්වීම් දිහා. හරියට භාෂාව පාවිච්චි කරපුවා හොයන්න කළුනික හොයනවටත් වඩා අමාරුයි නොවැ.
ඊළඟට පත්තරේ ගන්නකො. මරු හෙඩිම් නේද තියෙන්නෙ?
ටී වී එකේ හරි රේඩියෝ එකේ හරි නිව්ස් ඊට හපං. මේව දැකල පණ පළයං පෙරේදා කිව්වලු.
වැරැද්ද ඉස්කෝලෙනම් වෙන්න බෑ. මොකෝ ඉස්කෝලෙ 1 වසරෙ ඉඳල 11 වසර වෙනකම්ම සිංහල විෂයක් හැටියට උගන්නනවනෙ. නිවැරදි ව්යාකරණ රීති, නිවැරදි අක්ෂර වින්යාසය, උපමා, උපමේය, සන්ධි, සමාස, ප්රත්ය එකී - මෙකී - නොකී සියළු දෑ කියල දෙනවනෙ. අපිත් ඉගෙන ගන්නවනෙ. මතක තියාගෙන, පාඩම් කරල විභාගෙත් පාස් වෙනවනෙ. ඊට පස්සෙ පාවිච්චි කරන්නෙ නැති එක තමා කොස්ස.
ඇයි සිංහල වලට විතරක් කුඩම්මගෙ සැළකිලි? ඉංග්රීසි ලියන කොට හරි, කියන කොට හරි පොඩි ස්පෙලිං මිස්ටේක් එකකට නැත්නම් ග්රැමර් ටිකක් වැරදුණාම ඒක අපිට බොහොම ලැජ්ජාවට කාරණයක්. වහාම සමාව ඉල්ලල හරි ගස්සනව. සිංහල වැරදුනාද කියලවත් දන්නෑ.
ඇයි අපිට එහෙම දෙයක් වැදගත් වෙන්නෙ?
එකක් තමයි අපිවත් ඕව හරියට පාවිච්චි කලේ නැත්නම් අපේ දරුවන්ගෙ කාලෙ වෙනකොට 'මේ අපේ දේවල්' නැත්තටම නැතිවෙලා යාවි.
අනික තමයි සිංහල කියන්නෙ මහා පුදුමාකාර භාෂාවක්. පොඩ්ඩක් බලන්න සිංහල කෙනෙකුට නිවැරදිව උච්චාරණය කරන්න බැරි එක අකුරක්, වචනයක් තියෙනවද වෙන කිසි භාෂාවක?
භාෂාවක් පෝෂණය වෙන්නෙ කාලයත් එක්ක එකතු වෙන විවිධ භාෂාවලින් බිඳී එන අලුත් වචන වලින්. ඒක හරි. එහෙමෙයි කියල අළුතින් දළු දාපු පළියට මුදුන් මුල කපා දාන එක හරිද?
පොඩි එකා කියන එක ලියන්නෙ "ළමයා" කියල මිසක් "ලමයා" කියල නොවෙයි කියන එක අපි ගුටි කකා ඉගෙන ගෙන තියෙනව. ඒත් පාවිච්චි කරන්නෑ.
කතා කරන භාෂාව අපි හැමෝම නියමෙට පාවිච්චි කරනව. ඒත් යමක් ලියන කොට ටිකක් වෙනස් නේද? අපි 'කල' කිව්වම එන අදහසත් 'කළ' කිව්වම එන අදහසත් දෙකක්. මුල් එකෙන් හැඟවෙන්නෙ 'කාලය' දෙවැන්නෙන් 'කරන ලද ක්රියාව'. අද මේ 'න ණ ල ළ' භේදය යොදන්නෙ කීයෙන් කී දෙනාද? අපි දන්න විදියට දන්න දේ සිංහල ලියද්දි භාවිතා කරමු. එවිට එකිනෙකාගෙන් ලබ ගන්න ගුරු හරුකම් වලින් අපේ දැනුම පෝෂණය වේවි. මේවා බලන අපේ බාල පරපුරට හරවත් යමක් ඉතිරි වේවි.
අනික අපි දිගින් දිගටම වැරදි දේ යොදා ගනිද්දි ඒක සමාජයේ සම්මතයක් බවට පත් වෙනවා කොච්චර වැරදි උනත්. හරියට අර පහුගිය කාලෙ කතා උනු ගොබෙල්ස් න්යාය වාගෙ. ඒක වෙන්නෙ අපි නිතර දකින දේ අපේ ඇහැට හුරු වෙලා ඒක නියතයක් බවට පත් වෙනවා. අපි කොච්චර අක්ෂර වින්යාස රීති පාඩම් කළත් අපිට ඒව මතක තියෙන්නෑ. අපිට මතක අපේ ඇහැට හුරුවුණු එක.
උදාහරණයක් විදියට මට යම්කිසි වචනයක් හරියට ලියන විදිය මතක නැත්නම් මම කරන්නෙ මට සැක හිතෙන ආකාර කීපයකට ඒ වචනය ලියල බලල වඩා හුරු වචනය තෝරා ගන්න එක. මට ලියන්න ඕනෙ වෙනවා 'පෝසනය' කියන වචනය. මම ඒක ලියල බලනව...
- පෝශනය
- පෝෂනය
- පෝශණය
- පෝෂණය
මට මතක නැති වෙනව "ෂ"යන්නට පස්සෙ එන "න"යන්න හැමවිට "ණ" බව. සමහර විට මම හැමතැනම දැකල තියෙන්නෙ 'පෝෂනය' කියල නම් මම තෝරගන්නෙ ඒක වෙන්න පුළුවන්; හරි එක වෙන 'පෝෂණය' වෙනුවට. මේ වැඩේ දිගින් දිගටම ගියොත් මොනවා නම් සිද්ධ නොවේවිද?
අද ගොඩක් අයට උක්ත අනුක්ත පද අමතකයි. "අප සංවත්සර උත්සවයට සහභාගී වීමු" කියනව ඒකෙ අමුතු ලස්සනක් තියෙන නිසාද මන්ද. ඒක "අපි" වෙන්න ඕනෙ කියල මතක නැතුව. මේව බොහොම ප්රසිද්ධ නිවේදක - නිවේදිකාවො, පුවත්පත් කලාවේදීන් සහ නොයෙකුත් වග කිවයුතු අය පාවිච්චි කරනව කිසිම වැරැද්දක් පිළිබඳ දැනීමකින් තොරව. එයාල එහෙම කියපුවාවෙ...
අපි පටන් ගනිමුද හරි දේ?
මම මට හරිය කියල හිතෙන විදියට තමයි හැමතැනම; පොඩි කමෙන්ට් එකක පවා, භාෂාව පාවිච්චි කරන්නෙ. මගෙත් වැරදි අනන්ත ඇති. ඒත් මට සැක සහිත තැනකදි ආදර්ශයක් ලබාගන්න තැනක් ඇත්තේම නැති තරම්, තියෙනවනම් අතේ ඇඟිලි ගානටත් අඩුයි!
අනේ අපි හරි දේ කරමු.
ටයිප් කරන්න නම් ටිකක් අමාරුයි තමයි. ඒත් පුරුදු උනාම හරියනවා.
මොන භාෂාවක් උනත් නියම විදියට ඉගෙන ගෙන පාවිච්චි කරන එකයි වටින්නෙ. එහෙම නේද?
අපි හරියට සිංහල භාවිතා කරන්න පටන් ගනිමුද බ්ලොග් වලින්වත්?









