Wednesday, May 19

අපේ භාෂාව කොයිබටද?

සිංහල බ්ලොග්කරණය, සිංහල යුනිකෝඩ්, සිංහල ටයිපින් අද හරිම ජනප්‍රියයි. කොච්චර දෙයක්ද? මේ දේවල්වලට මහන්සි උනු හැමෝටම බොහෝමත්ම පිං.

අපි අද පාවිච්චි කරන්නෙ හරි සිංහලද?

නිකමට බලන්න පාරෙ යනකොට එල්ලල තියෙන බැනර්, කටවුට්, පෝස්ටර් සහ අනෙකුත් දැන්වීම් දිහා. හරියට භාෂාව පාවිච්චි කරපුවා හොයන්න කළුනික හොයනවටත් වඩා අමාරුයි නොවැ.

ඊළඟට පත්තරේ ගන්නකො. මරු හෙඩිම් නේද තියෙන්නෙ?

ටී වී එකේ හරි රේඩියෝ එකේ හරි නිව්ස් ඊට හපං. මේව දැකල පණ පළයං පෙරේදා කිව්වලු.

වැරැද්ද ඉස්කෝලෙනම් වෙන්න බෑ. මොකෝ ඉස්කෝලෙ 1 වසරෙ ඉඳල 11 වසර වෙනකම්ම සිංහල විෂයක් හැටියට උගන්නනවනෙ. නිවැරදි ව්‍යාකරණ රීති, නිවැරදි අක්ෂර වින්‍යාසය, උපමා, උපමේය, සන්ධි, සමාස, ප්‍රත්‍ය එකී - මෙකී - නොකී සියළු දෑ කියල දෙනවනෙ. අපිත් ඉගෙන ගන්නවනෙ. මතක තියාගෙන, පාඩම් කරල විභාගෙත් පාස් වෙනවනෙ. ඊට පස්සෙ පාවිච්චි කරන්නෙ නැති එක තමා කොස්ස.

ඇයි සිංහල වලට විතරක් කුඩම්මගෙ සැළකිලි? ඉංග්‍රීසි ලියන කොට හරි, කියන කොට හරි පොඩි ස්පෙලිං මිස්ටේක් එකකට නැත්නම් ග්‍රැමර් ටිකක් වැරදුණාම ඒක අපිට බොහොම ලැජ්ජාවට කාරණයක්. වහාම සමාව ඉල්ලල හරි ගස්සනව. සිංහල වැරදුනාද කියලවත් දන්නෑ.

ඇයි අපිට එහෙම දෙයක් වැදගත් වෙන්නෙ?

එකක් තමයි අපිවත් ඕව හරියට පාවිච්චි කලේ නැත්නම් අපේ දරුවන්ගෙ කාලෙ වෙනකොට 'මේ අපේ දේවල්' නැත්තටම නැතිවෙලා යාවි.
අනික තමයි සිංහල කියන්නෙ මහා පුදුමාකාර භාෂාවක්. පොඩ්ඩක් බලන්න සිංහල කෙනෙකුට නිවැරදිව උච්චාරණය කරන්න බැරි එක අකුරක්, වචනයක් තියෙනවද වෙන කිසි භාෂාවක?

භාෂාවක් පෝෂණය වෙන්නෙ කාලයත් එක්ක එකතු වෙන විවිධ භාෂාවලින් බිඳී එන අලුත් වචන වලින්. ඒක හරි. එහෙමෙයි කියල අළුතින් දළු දාපු පළියට මුදුන් මුල කපා දාන එක හරිද?

පොඩි එකා කියන එක ලියන්නෙ "ළමයා" කියල මිසක් "ලමයා" කියල නොවෙයි කියන එක අපි ගුටි කකා ඉගෙන ගෙන තියෙනව. ඒත් පාවිච්චි කරන්නෑ.

කතා කරන භාෂාව අපි හැමෝම නියමෙට පාවිච්චි කරනව. ඒත් යමක් ලියන කොට ටිකක් වෙනස් නේද? අපි 'කල' කිව්වම එන අදහසත් 'කළ' කිව්වම එන අදහසත් දෙකක්. මුල් එකෙන් හැඟවෙන්නෙ 'කාලය' දෙවැන්නෙන් 'කරන ලද ක්‍රියාව'. අද මේ 'න ණ ල ළ' භේදය යොදන්නෙ කීයෙන් කී දෙනාද? අපි දන්න විදියට දන්න දේ සිංහල ලියද්දි භාවිතා කරමු. එවිට එකිනෙකාගෙන් ලබ ගන්න ගුරු හරුකම් වලින් අපේ දැනුම පෝෂණය වේවි. මේවා බලන අපේ බාල පරපුරට හරවත් යමක් ඉතිරි වේවි.

අනික අපි දිගින් දිගටම වැරදි දේ යොදා ගනිද්දි ඒක සමාජයේ සම්මතයක් බවට පත් වෙනවා කොච්චර වැරදි උනත්. හරියට අර පහුගිය කාලෙ කතා උනු ගොබෙල්ස් න්‍යාය වාගෙ. ඒක වෙන්නෙ අපි නිතර දකින දේ අපේ ඇහැට හුරු වෙලා ඒක නියතයක් බවට පත් වෙනවා. අපි කොච්චර අක්ෂර වින්‍යාස රීති පාඩම් කළත් අපිට ඒව මතක තියෙන්නෑ. අපිට මතක අපේ ඇහැට හුරුවුණු එක.

උදාහරණයක් විදියට මට යම්කිසි වචනයක් හරියට ලියන විදිය මතක නැත්නම් මම කරන්නෙ මට සැක හිතෙන ආකාර කීපයකට ඒ වචනය ලියල බලල වඩා හුරු වචනය තෝරා ගන්න එක. මට ලියන්න ඕනෙ වෙනවා 'පෝසනය' කියන වචනය. මම ඒක ලියල බලනව...

  • පෝශනය
  • පෝෂනය
  • පෝශණය
  • පෝෂණය

මට මතක නැති වෙනව "ෂ"යන්නට පස්සෙ එන "න"යන්න හැමවිට "ණ" බව. සමහර විට මම හැමතැනම දැකල තියෙන්නෙ 'පෝෂනය' කියල නම් මම තෝරගන්නෙ ඒක වෙන්න පුළුවන්; හරි එක වෙන 'පෝෂණය' වෙනුවට. මේ වැඩේ දිගින් දිගටම ගියොත් මොනවා නම් සිද්ධ නොවේවිද?

අද ගොඩක් අයට උක්ත අනුක්ත පද අමතකයි. "අප සංවත්සර උත්සවයට සහභාගී වීමු" කියනව ඒකෙ අමුතු ලස්සනක් තියෙන නිසාද මන්ද. ඒක "අපි" වෙන්න ඕනෙ කියල මතක නැතුව. මේව බොහොම ප්‍රසිද්ධ නිවේදක - නිවේදිකාවො, පුවත්පත් කලාවේදීන් සහ නොයෙකුත් වග කිවයුතු අය පාවිච්චි කරනව කිසිම වැරැද්දක් පිළිබඳ දැනීමකින් තොරව. එයාල එහෙම කියපුවාවෙ...

අපි පටන් ගනිමුද හරි දේ?

මම මට හරිය කියල හිතෙන විදියට තමයි හැමතැනම; පොඩි කමෙන්ට් එකක පවා, භාෂාව පාවිච්චි කරන්නෙ. මගෙත් වැරදි අනන්ත ඇති. ඒත් මට සැක සහිත තැනකදි ආදර්ශයක් ලබාගන්න තැනක් ඇත්තේම නැති තරම්, තියෙනවනම් අතේ ඇඟිලි ගානටත් අඩුයි!

අනේ අපි හරි දේ කරමු.

ටයිප් කරන්න නම් ටිකක් අමාරුයි තමයි. ඒත් පුරුදු උනාම හරියනවා.

මොන භාෂාවක් උනත් නියම විදියට ඉගෙන ගෙන පාවිච්චි කරන එකයි වටින්නෙ. එහෙම නේද?
අපි හරියට සිංහල භාවිතා කරන්න පටන් ගනිමුද බ්ලොග් වලින්වත්?

8 comments:

  1. අදහසනම් හොඳයි. මම ඉතින් කොහොමත් ලියන්නෙ කතාකරන භාෂාවෙන් නිසා මට නම් ව්‍යාකරණ ප්‍රශ්න එච්චර නෑ. ලියනකොට පුරුද්දට හරියට ලියවුනත් ටයිප් කරනකොට ඒක හුරු නෑනෙ. ඒ නිසා වරදිනවා.

    ReplyDelete
  2. ඉතාම අගනා අදහස් ගොන්නක්. මටත් සමහර තැන් වලදි පැටළිලි(මේ වචනෙත් හරිද මන්දා!) තියෙනවා. ඇහුවොත් හැකි පමණින් උදව් කරනවාද? අපි හරියට සිංහල භාවිතා කරන්න පටන් ගනිමු බ්ලොග් වලින්වත්...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඉල්ලීමක් තියෙනවා. සිංහල හෝඩිය සම්පුර්ණව උච්චාරණය සමඟ (වීඩියො) බා ගත හැකි ලින්ක් එකක් ඇත්නම් ලබා දෙන්න..මගේ දරුවන් උදෙසායි මේ ඉල්ලීම...

    ReplyDelete
  6. දයාබර සොයුරිය ඔබේ මෙ උත්සාහය ඉතා අගේය. කාලීන මතක් කිරීමකි. අද බොහෝ සේ බ්ලොග් ලියවුනද ලිවීමෙ නීතිය තබා නියමිත අක්ෂර බාවිතයෙන් ද ඈත් වෙනවා.

    කලකට පෙර කෙනෙකු මා සමග වාද කරා සිංහල බසේ "එක" වචනය විතරක් ඇති බවට, හේතුව ලෙස ගෙනාවේ කාර් එක, බස් එක, වෑන් එක, මොබයික් එක, බයික් එක.... අවාසනාවට ඔහු දැන සිටියෙ නැහැ මෙ වාහනවල සිංහල වචන (මෙ ටික සඳහන් කලේ ප්‍රශ්ණයේ තරම දක්වන්න පමනි).

    යුනිකෝඩ් වල දියුණුව පෞද්ගලිකව මට ලොකු සතුටක් ගෙන දෙනවා. මා කොම්පියුටර් ක්ෂේත්‍රයේ රැකියාවෙ නියුතු අයෙක්, ආරම්භක වසර දෙක (84-85) රැකියාවට අමතරව මා කැප කලේ සිංහල අකුරු වලින් වැඩ කරන Wordprocesserයක් නිර්මාණය කරන්න. මගේ ප්‍රයත්නය සාර්ථක වුණත් මට ඉදිරියට යන්න ක්‍රමයක් නැති කොට නවතාලන්න විය. ඒත් ඒ සිහිනය සිංහල අක්ෂර සහිත මෘදුකාංග වලින් පටන් යුනිකෝඩ් ගමන මා ඉතා ගෞරවයෙන් සතුටින් බලා උන්නෙමි.

    ReplyDelete
  7. @ ත‍රිඳු,
    ඔව් ගොඩක් අය ලියන්නෙ කතා කරන භාෂාවෙන්නෙ. එතකොට ඉතින් අක්ෂර වින්‍යාසය තමයි. ඒ ගැන සැළකිලිමත් වෙනව දැකපු එක්කෙනෙක් තමයි ඔයත්.සුබ පැතුම්! කරගෙන යමු එතකොට හරි යනවා.

    @nethu,
    අක්කෙ, මට නම් පෙන්නෙ 'පැටළිලි' හරි වගේ.
    අනිවා දන්න කියන දෙයක් නම් ඕනෙම වෙලාවක උදව් සහ සහාය මගෙන්.
    දැනට නම් මට සිංහල හෝඩියේ උච්චාරණයක් හොයාගන්න ලැබුණේ නැත. සිංහල වචන සහ කතා කරන හැටි නම් මෙතනට ගියාම ලැබේ.
    http://www.speaksinhala.com
    ඒත් පුංචිම එක්කෙනෙක්ට නම් මේක බරපතල වැඩි ඇති. ඉදිරියේදි හම්බ උනොත් දාන්නම්.

    @ගල්මල්,
    ස්තූතියි ගල්මල් අයියෙ. ඇත්ත අද අපි මේ විදියට හමුවෙන්නෙත් එයාල නිසානෙ. නැත්නම් අපි 'ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ' නොවැ.
    'අපේ' දේවල් රැක ගන්න වලිකන අය අතරෙන් ඉදිරියෙන්ම ඉන්න ඔබත් අපිට ලොකුම ලොකු හයියක්. අපි එන්නෙ ඔබතුමන්ලා එකතු වෙලා එළි පෙහෙලි කරන අඩි පාර දිගේ නොවැ.

    ReplyDelete
  8. චීන බස වගේ ඒවගෙයි, ඇතැම් අප්‍රිකානු භාෂා වලයි තියන ඇතැම් වචන, සද්ද උච්චාරණය කරන්න අපට හරිම අමාරුයි මම හිතන්නෙ.
    ඒ කියන්නෙ අපිට ඒව බෑ කියල, විශේෂයෙන් පුහුණු නොවී!
    (පුරුදු උනොත් නම් ඕනෙ රටක කෙනෙක්ට ඕනෙ භාෂාවක් පුලුවන් වෙයි)

    ReplyDelete