Saturday, May 22

කාලය මැවු වෙනසක අරුමේ......(අනේ අනිච්චේ, දුක්ඛේ!!!!)



දහසක් කඳුළැලි
සුවහසක් සෝ සුසුම්
එකට කැලතී 
එක රැයින් ගොඩ නැඟුණු 

ම'දෙස හෙලූ නුඹ නෙතු 
සැංගී උණුසුම් කඳුළක්.....

විසි වසක් පුරාවට 
දුටිමි 
එනු යනු 
දැරීමි සියල්ල 
නොදොඩා නොසෙල්වී....

තුරු ලතා වල් 
සැරසුණු මා ගත 
ජරා ජීර්ණවූ
වෙහෙස වසං කළ 

 මදෙස හෙලන්නේ 
අනුරා බැල්මකි!


ප.ලි.
දුක්බර කතාවක් රැගත් මේ ස්මාරකය එකල ප්‍රෞඪව නැඟී සිටි බවටයි සාක්ෂි ලැබුණේ.
එහෙත් අද..... "ශෝචනීයයි" කියනු හැර වෙනත් කුමක් නම් කරමුද?
"වියෝ වූවන් සමරමු" හිසින් යුතුවූ, කළු - සුදු, ජරා ජීර්ණ ඡායාරූප කිහිපයක්ම ලැබුණු නමුදු නොපිපුණු, බොහෝ කලකට පෙර නැඟුණු මේ කවි පොහොට්ටුව, අද පිපෙන්නේ පළ කළ හැකි මට්ටමේ සේයාරුවක් ලැබුණු නිසාවෙනි.
අන්තර්ජාලයට මුදා හැරුණු විගසම එය හොරකම් කරගන්නට සිදුවූයේ යටි හිතේ පැසවමින් තිබූ මේ ආශාව නිසාමය.
එහෙයින් මෙය හොරකම් කිරීම පිළිබඳවත්, මෙම පිංතූරයෙහි පහළ කොටසෙහි වූ පියකරු තරුණ පිරිසගේ මූණත්තහඩු කපා දැමීම (crop) පිළිබඳවත් මෙහි අයිතිකරු මා හට සමාව දෙනු ඇතැයිද සිතමි.
එය එසේම වේවා!

නොතේරුණ අයටයි මේ හැඳින්වීම,
මේ, 80 දශකයේ අඳුරු කාල පරිච්ඡේදය තුළ වියෝ වූ සියළු දෙනා සිහිවීම පිණිස මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇති ස්මාරකයයි. එකළ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල මෙය ඉදිකර තිබුණත්, අද වනවිට එය සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් විවෘත කෙරෙන පිවිසුමක් වන නිසා තරමක් පාළු ස්ථානයක් බවට පත්වී ඇත. එපමණකුදු නොව, අද දරුවන් මෙය කුමක්දැයි පවා නොදන්නා සෙයකි! වසර ගණනක් තිස්සේ උදේ හවා එතැනින් පියමං කරන, මගේ දෙනෙතට හසුවන දසුන් මා හද කම්පා කරවයි. මේ සිතිවිල්ල බිහිවී හදේ පැසව පැසවා පැවතියේ එහෙයිනි.

6 comments:

  1. හප්පා.. මම ‍මේක දැකලා නෑනෙ.. කොතනද තියෙන්නේ????

    ReplyDelete
  2. ඇතුල්වෙලා ඉසෙල්ලම වමට හැරෙන පාර දිගේම ගියහම ඕක හමුවෙනවා...

    ReplyDelete
  3. අනේ මල්ලියෙ අදම ගිහිං බලාගන්න! හැබැයි ඉතින් වැරදි වෙලාවක ගිහින් ගුටි කාල මට නම් කියන්න එපා හොඳේ.
    හි හි හී
    ඔය පිංතූරෙ තරම් පැහැදිලිව අද නෑ. ටිකක් හැංගිලා තියෙන්නෙ, පාරෙ යනකොට හොඳට පේනවා ඇතුලෙදිට වඩා.

    ReplyDelete
  4. වීර ශිෂ්‍ය දිනයක් තියෙනවා ඒදාට NDT සිසුන් ඔතනට ඇවිත් සුද්ද කරලා මල් තියලා ඒ දිනය සමරණවා හරිම දුක හිතෙන ස්මාර්කයක්

    ReplyDelete
  5. වැස්සකටවත් මොර‍ටු තියා කිසිම විශ්ව විද්්‍යාලයකට නොගිය මම මේක හැබැහින් දැකලා නැහැ. ඒත් මේ රූපය යොදා ගත් බුක් මාර්ක් එකක් නම් මම කාලෙකට ඉහතදී අරගත්තා මතකයි.
    පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවන් පිරිසක්
    සැතැපෙන බව පස් කඳු යට රහසේ
    මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවි

    ReplyDelete
  6. Ano,
    හැබෑම නේන්නම්. ඔයත් NDTද? අඳුනගන්න කැමතියි.

    nethu අක්ක,
    ඒක පාර අයිනෙ තියෙන්නෙ අක්කෙ 255 පාරෙ ගියාම ඇති. විශ්ව විද්‍යාලෙකට නොගියම මොකෝ? විශ්ව දැනුම තියෙන්නෙ අක්කට. ගිය සමහරුන්ටත් නැති කොට.
    සියල්ල සතර පදෙන්, සරලයි, සුගමයි, මාරයි!!

    ReplyDelete