Showing posts with label කාලය. Show all posts
Showing posts with label කාලය. Show all posts

Sunday, July 18

අයැදිමි...


නෑසෙන්න පවසන්න,
නෙක පැතුම් සවන'තට.

ඉඩ දෙන්න පිවිසෙන්න,
ඔබ ඉන්න ඒ ලොවට.

ඔබ මෙන්ම විඳගන්න,
ඔබෙ හැඟුම් මගෙ ලෙසට.

පිබිදෙන්න! එක්වෙන්න!
මගෙ පැතුම් මහමෙරට....
.
.
.

Tuesday, July 6

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

අම්මප ඇත්ත නේන්නං!!!
දීපංකො උත්තර!!!

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා,
අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ? 

ආලවඩන ඔමරි ලතා, බාල බොළඳ මිහිරි කතා
හැමදාමත් එක විදියට නෑ පවතින්නේ
මේ කන්නත් පහුව යාවි, අපි දෙතැනක වයස යාවි
ඉර හඳ තරු අපි වෙනුවෙන් නෑ නවතින්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

වනේ දුවන මුවන් බලා, හෙළා ඉවත නෙලූ පලා
නඟේ ඔහොම කොපමණ කල් ඉන්නද යන්නේ?
මට මව්පියො දොස් කියාවි, වෙන එකියක් ගැන සොයාවි
මම නම් නැහැ තනි පැදුරක වයසට යන්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්....  

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?//

අහනවනං මේං

එඩ්වඩ් ජයකොඩි
සෝමරත්න දිසානායක
රෝහණ වීරසිංහ

Wednesday, June 16

හිත හදාගත්තා විතරමයි - ඔබ ආයෙමත් ඇවිදින්!!!!!

විරහව...
පහුගිය දවස් ටිකේම විරහව ගැන ලියවුණු දෑ බොහෝයි.
මගේ සඳ
අතීතයෙන් අහුලන මතකයන්
සොඳුරු සිත
ආදරය විරහව සහ කඳුළ....
සහෘදයා
ඒවා අතරින් කීපයක්.
කාලෙකට කලින් මගෙ අතින් ලියවුණු කවියක් සහ අමරසිරි පීරිස් මහත්මයගෙ ගීතයක් මතකයට ආවෙ මේක කියවද්දි.  

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්!

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්?
නුඹ නොදැක සිටි දිගු කාලයේ,
හිත හදාගත්තා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!

දෑස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්වත් සුවඳ නැතිවිය ඔබ තරම්!
නුඹ නොදැක සිටි ඒ කාලයේ,
නෙත කඳුළු මැකුනා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!

ඔබ ආයෙමත් ඇවිදින්....

ඔය ගීතය අහන්න කළිං මගෙ අතින් ලියවුණා මෙන්න මේ කවිය. ගෙඩි පිටින්ම මගේ අත්දැකීමක්.
 
පිටමං කරනට ඔබ රුව මනසින්
අනන්ත වූ දුක් වින්දා රහසින්
ආයෙම ඇවිදින් පෙරදා විලසින්
එපා එබෙන්නට මා සිත් අහසින්

මේ සිතිවිල්ල අපි හැමෝටම පොදුයි. ඒත් මේ බොහොම වැරදි, බොහොම භයානක සිතිවිල්ලක්. දුක ඇතිවෙන්නෙ අපේ හිතේ නේද? එහෙනම් ඇයි අපි වෙනත් කෙනෙකුට දෝශාරෝපණය කරන්නෙ? දුක හිතෙන් තුනී කරන්න කියල, දෙන්න මුණ ගැහෙන අවස්ථා මඟ හරින්න උත්සාහ ගන්නෙ? කාලයක් මුණ නොගැහි හිටියම දුක තුනී වෙනවා. හරි. ඒත් ඔය කලින් කියන්නා වගේ හදිසියෙම හම්බ උනොත් මොකෑ වෙන්නෙ? කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු! ඉවරයි නේද හිතේ තිබ්බ සංහිඳියාව?
තමන් ඇති කරගත්ත දුක නැති කරගතයුතුත් තමාමයි. අපි මෙහෙම හිතමු.
(මං මේ පෙන්නන්න යන්නෙ දිශාවක්. මගේ ඇඟිල්ල දිහා බලන්නෙ නැතිව ඔයාල මං පෙන්නන දිශාව දිහා බලාවි කියල මං විශ්වාස කරනව.)
තාපසයෙක් ඉදිරියට  බොහොම රූමත්, අඩ නිරුවත් කාන්තාවක් ඇවිල්ල අනඟ රැඟුමක් දානව කියල හිතමු. තාපසයට ශෘංගාරාත්මක හැඟීමක් පහල වුණා කියලත් හිතමු. දැන් තාපසයට ඕනෙ කරන්නෙ මෙවන් හැඟීම ඇතිවෙන එක වළක්වාගන්න. ක්‍රම දෙකක් තියෙනව.
ලේසිම වැඩේ ඇස් දෙක වහගන්න එක. එතකොට පේන්නෙ නෑ. හරි තාවකාලිකව වැඩේ ගොඩ. හැබැයි ආයෙ ඇස් ඇරපු ගමන් ඉතින් බඩුම තමයි.
දෙවෙනි එක අමාරු ක්‍රමය. ඇස් ඇරගෙන ඇය දිහා බලාගෙන ශෘංගාරය ඇති වෙන්නට ඉඩ නොදී සිටීම. පට්ට අමාරු වැඩක් වුනත් හරියට කරගත්තොත් කිරි ගහට පිහියෙන් ඇන්න වගේ නේද?

අපි හැමෝම අර කළින් කියපු අවස්ථාවෙදි කරන්න උත්සාහ කරන්නෙ ටික කලකට ඇය හෝ ඔහු අමතක කිරීම උනත්, හිතේ යට ඒක තැන්පත් වෙලා තිබිල නැවත සම්බන්ධයක් ඇතිවුණ ගමන් 'වතුරෙ ගිල්වපු රබර් බෝලෙ' වගේ ආයෙ මතුවෙනවා. ඒක දරා ගන්න එක හරි අමාරුයි. ඒත් අපි පුළුවන් තරම එයා හමුවෙලා, නියුට්‍රල් එකේ එයත් එක්ක කතා බහ කරන්න, හැසිරෙන්න උත්සාහ කළොත්?  .............
මේ මම කිව්වෙ මගේ තියරිය. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අදටත් ඔහුව මුණ ගැහුණාම මටත්, මාව මුණ ගැහුණාම ඔහුටත්, ඉස්සර වගේම කට පිරෙන්න, හදවතින්ම හිනා වෙලා, සුහදව කතා කරන්න හැකියාව තියෙන්නෙ අපි දෙන්නම ඔය විදියට හිතපු හින්දා වෙන්ටැ කියලයි මම නම් හිතන්නෙ.
 
මම පොර සේ මේ ක්‍රමය කිව්වට මේක බුදු හාමුදුරුවො දේශනා කරපු උපාදානය අත හැරීමම තමයි.
....තණ්හා <-> උපාදාන <-> භව ....

අපිට හැමදේටම මේක යොදන්න පුළුවං නම් කොච්චර හොඳද?

Saturday, May 22

කාලය මැවු වෙනසක අරුමේ......(අනේ අනිච්චේ, දුක්ඛේ!!!!)



දහසක් කඳුළැලි
සුවහසක් සෝ සුසුම්
එකට කැලතී 
එක රැයින් ගොඩ නැඟුණු 

ම'දෙස හෙලූ නුඹ නෙතු 
සැංගී උණුසුම් කඳුළක්.....

විසි වසක් පුරාවට 
දුටිමි 
එනු යනු 
දැරීමි සියල්ල 
නොදොඩා නොසෙල්වී....

තුරු ලතා වල් 
සැරසුණු මා ගත 
ජරා ජීර්ණවූ
වෙහෙස වසං කළ 

 මදෙස හෙලන්නේ 
අනුරා බැල්මකි!


ප.ලි.
දුක්බර කතාවක් රැගත් මේ ස්මාරකය එකල ප්‍රෞඪව නැඟී සිටි බවටයි සාක්ෂි ලැබුණේ.
එහෙත් අද..... "ශෝචනීයයි" කියනු හැර වෙනත් කුමක් නම් කරමුද?
"වියෝ වූවන් සමරමු" හිසින් යුතුවූ, කළු - සුදු, ජරා ජීර්ණ ඡායාරූප කිහිපයක්ම ලැබුණු නමුදු නොපිපුණු, බොහෝ කලකට පෙර නැඟුණු මේ කවි පොහොට්ටුව, අද පිපෙන්නේ පළ කළ හැකි මට්ටමේ සේයාරුවක් ලැබුණු නිසාවෙනි.
අන්තර්ජාලයට මුදා හැරුණු විගසම එය හොරකම් කරගන්නට සිදුවූයේ යටි හිතේ පැසවමින් තිබූ මේ ආශාව නිසාමය.
එහෙයින් මෙය හොරකම් කිරීම පිළිබඳවත්, මෙම පිංතූරයෙහි පහළ කොටසෙහි වූ පියකරු තරුණ පිරිසගේ මූණත්තහඩු කපා දැමීම (crop) පිළිබඳවත් මෙහි අයිතිකරු මා හට සමාව දෙනු ඇතැයිද සිතමි.
එය එසේම වේවා!

නොතේරුණ අයටයි මේ හැඳින්වීම,
මේ, 80 දශකයේ අඳුරු කාල පරිච්ඡේදය තුළ වියෝ වූ සියළු දෙනා සිහිවීම පිණිස මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇති ස්මාරකයයි. එකළ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල මෙය ඉදිකර තිබුණත්, අද වනවිට එය සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් විවෘත කෙරෙන පිවිසුමක් වන නිසා තරමක් පාළු ස්ථානයක් බවට පත්වී ඇත. එපමණකුදු නොව, අද දරුවන් මෙය කුමක්දැයි පවා නොදන්නා සෙයකි! වසර ගණනක් තිස්සේ උදේ හවා එතැනින් පියමං කරන, මගේ දෙනෙතට හසුවන දසුන් මා හද කම්පා කරවයි. මේ සිතිවිල්ල බිහිවී හදේ පැසව පැසවා පැවතියේ එහෙයිනි.