Saturday, May 22

මා සිත් ගත් කවි - 2. (කවි මඩු)

රට තොට නම නම් වේගයෙන් ගියා
අමරසිංහ නම් නියම සිංහයා
මේ ඔක්කෝටම නෙළන්නම් කියා
මාකඳුරෙන් ඇවිදින්ලු චණ්ඩියා //

සිරියා ඉන්නේ දැන් කෙළවරමයි
මටත් තියෙන හොඳ නෑකම නියමයි
රහසක් පවසමි ඔබටත් පුදුමයි
රෑට නිදාගන්නෙත් මගෙ ළඟමයි //


මී පැණි හලන්නට ඔබගේ දෙසවනට
දස්කම් මටත් හිමිවී ඇත පෙර පිනට
මගෙ කයිවාරු ගැසුවා මෙහි ඇති දැනට
ආභරණයක් වෙන්නම් දැන් මුල'සුනට //


කහවත්තේ පැවති කවි මඩුවකදීය.
ගාල්ලේ ජී. ඇම්. අජිත් මුලසුන හොබවමින් කවි කිවිඳියන් හඳුන්වා දුන් අයුරුයි ඒ. මෙහි සඳහන් කරන ලද්දේ වාදයට සහභාගී වන දෙදෙනාගේ හැඳින්වීම පමණි.

මුලාසනය:
පෙරහැර එක දිගට යනකොට නැත එළියක්
මට ඒ වග හිතුණි තනියම දහ වලියක්
එහෙනම් ඉතිං අරඹන්නද ගිනි කෙළියක්
අප්පුඩියක් ගහමු ඇතිවෙන්නට ජොලියක්

පසු බැස නොමැත මාකඳුරේ අමරේලා
සටනට පා තබති කොහොමත් සිරියාලා
ඔහුවයි ඇයයි මෙහි ඩිංගක් පටලාලා
දැන් මම බලන්නම් හැමටම රස දීලා
කවියා:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ

කිවිඳිය:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

කවියා:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි

කිවිඳිය:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ 

කවියා: 
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ 

කිවිඳිය:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා
.........
කවියා: 
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ 

කිවිඳිය:
අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී 

කවියා: 
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?

කිවිඳිය:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල 

කවියා: 
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය   

කිවිඳිය:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ 

කවියා: 
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක් 

කිවිඳිය:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා 

මුලාසනය: 
හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

8 comments:

  1. මේක නම් පට්ට .................

    ReplyDelete
  2. අක්කෙ කොහෙන්ද ඔයාට මෙ කවි. පත්තර වල යන එවා අතරින් පතර හම්බ වුනාට මෙ වගෙ සංවාදයක් හම්බ වුනෙ නැහැ. මෙ මිනිස්සු හරිම වටින මිනිස්සු ටිකක්, ඔයා ගාව කවි එකතුවක් තියනවා නම් අපිටත් දෙන්න, කවි මඩුවල කවි තියන පොත් පත් දන්නවා නම් එවා කියන්න, අපිත් අර ගන්නම්..

    ReplyDelete
  3. @ වැප්,
    පුදුම හැකියාවක් නේද? හිටිවන කවිනෙ!

    @රවා,
    පොත් පත් නම් දන්නෑ මල්ලි. ඔය කවි නම් මම ඉස්සර රේඩියෝවෙ යන කොට දඩිබිඩි ගාල ලියා ගත්තුවා. තව ගොඩක් තිබුණා. වෙලාවක් යනව හොයන්න. ඕකත් අහම්බෙන් හම්බ උනේ.
    අනිවාර්යයෙන්ම මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මේව අද නැති වෙලා යන දේවල්.
    කවි ලියන්න කැමති අය ඉන්නව නම් මම දන්න "කවි කලාව"ත් කියල දෙන්න මම කැමතියි.

    ReplyDelete
  4. මටත් ලාවට වගේ මතකයි ඉස්සර රේඩියෝවෙ යන කොට මං අහලා තියෙනවා. නමුත් ඒ තරම් තේරුමක් නම් තිබුණෙ නැහැ. තාත්තා අහන කොට මාත් හිනාවෙවී අහන් හිටියා.. ඒවා දැන් යන්නෙ නැත්ද? ඔයා දන්න කවි කලාව ගැනත් ලිපියක් පල කරමුකො එහෙනම්.. ආසාවෙන් බලන් ඉන්නවා..

    ReplyDelete
  5. nethu අක්කා,
    හෙහ් හෙහ්.. අපෙත් තාත්තා තමා වැඩ සටහන් විස්තරේ දෙන්නෙ. ඉතින් යන වෙලාවට සැදී පැහැදී පොතක් සහ පෑනක් රැගෙන රේඩියෝ එක ගාව. මට සෑහෙන වේගෙකින් ලියාගන්න පුළුවං හින්දයි, එයාල කියන්නෙ ටිකක් වෙලා අරන්, හිතල - මතල තාලෙට හින්දයි යන්තන් වැඩේ ගොඩ.
    ලියන්න ඕනෙ ලියන්න ඕනෙ. කොහෙද මගෙ ඔළුවෙ එක එක සීරීස් ගොන්නක් තියේනෙ. මාත් මහ ගොඩක් දන්නෑ හැබැයි.

    ReplyDelete
  6. මා ගාව තියනවා රෙඩියො එකෙ යද්දි පටිගත කර ගත්තු ගුවන්විදුලි නාට්‍ය ගොඩාක් තිබුනා, නමුත් කාලෙකට පස්සෙ තැටි කිපයක් නාස්ති වුනා, දැන් මා ගාව කිපයක් තියනවා. මම කවි මඩූවක් නම් කවදාවත් රෙඩියො එකෙන් අහාල නැහැ .දවසක් සිරසෙ සති අග සාදයට ප්‍රසිද්ධ කවීන් කිපදෙනෙකු ආවත් වාදයක් ගියෙ නැහැ. බ්ලොගින් වලට ඇවිල්ලා, හිතෙ තියන බර අඩු කරගන්න ගමන්ම ඔයාලා වගෙ කිපදෙනෙකුවත් අදුන ගන්න ලැබිම වාසනාවක්.. මමත් මොරටුව විශ්වවිද්‍යාලයෙ ඉගෙනගන්න කෙනෙක්...

    ReplyDelete
  7. @රවා,
    ප්‍රදර්ශනේ දවස්වලට ඔයා ඉන්නව නේද මල්ලි? පුළුවං උනොත් මුණගැහෙන්නයි හිතං ඉන්නෙ.

    ReplyDelete
  8. මෙන්න videos

    http://www.youtube.com/watch?v=UlN4MieQ8wM
    http://www.youtube.com/watch?v=mbRV8gIjemg

    මේ එක්කම තවත් video 8ක් විතර තියනව ඒකට අදාළ

    ReplyDelete