Wednesday, May 19

නාරද දිසාසේකර අද නිහඬ වෙලා!!!


මම කිසිත් නොමදත් ළදරුවෙකු සේ මං මුළා වී සරමින් සිටියෙමි.
පිපී රේණු නටන මලක හැප්පී, ළා දළු වන මල්ද හිමිහිට සෙළැවූ පවන් රොදක් මට වරෙං වරෙං කියා අඬගැසුවේය.
ඒ ඇරයුමින්ම මගේ මතකයේ නිම් තළා බිඳ අතීතයේ ගඟ ගලා බසින්නට පටන් ගති.
ඈත ගව් ගණන් දුරින් පාවී ආ විලාසිතා අතරින් ආදර නිල් දෑස ඔහුට හමු වූවිට, මුළු හදින්ම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මවා ඇය තවෙකෙකුට අයිතු වුණු හැටි බලා දුක් වූවත් පසුව ඇය නාමලින් දිනූ ලියක්දැයි ඔහුට සිතුණු වාරද අනන්තය.
එහෙත් සියළු දුක්ඛ දෝමනස්සයන් පසෙක ලා, රස වෑහෙන මකරන්ද ඇති පුෂ්පයක ඇරයුමින් මල් පීදුණු කැදැල්ලකට තුරුල් වී කෝකිලයෙක් සේ, හිත ගිය තැන මාළිගාවක් සැදුවේ, ප්‍රේම ලොකේ නීති රීති හරි වැරදි නොසළකන හෙයින් සටනක් වූ ප්‍රේමය චේතනා පරිශුද්ධ වූ හෙයින්ම ජයගත් නිසාවෙනි.
පසුව ඔහුගේ හද මාළිගයේ අභිෂේක ලබාගත් ඈ රන් ගිර'ගින් රන් බඳුනට රන් මසුරන් වැටෙන හඬ ඇසී සතුටින් සිනා නැඟුවාය.
එහෙත් සලිත විලෙක රළ පෙළ විලසින් තණ්හාව නැඟෙනු දුටු විට රන් රිදී වස්තුව එපා කියා ඔහු එය අතහැර දැමීය.
මලින් මලේ රේණු උරමින් පෙම් හබ වල පැටලී සිටියත් උපන් බිමෙ උරුමය රැක ගන්නටත් පෙරටම ගියේ "සවිබල යකඩ වගෙයි අපෙ අත්වල - එඩිතර ගතිය තිබෙයි අපෙ හිත්වල" කියමිනි.
ජීවිතේ ගලන ගඟක් වගේ දුටු ඔහු පුරුදු ජීවන මං තලයේදී ලෝකයේ ගමන නොනිමෙන බවද දුටුවේය.
හිමින් හිමින් පිටුපස්සෙන් තවලම යන්නා වාගේ ගෙවෙන ජීවිතයේ උදාසීන බවද අවසන් කාලයේදී ඔහුට පෙනිණි.

"ජනන මරණ දෙකෙහි බැඳුණු බොරු ආටෝපේ
කොතෙක් දිනක් බලා සිටිමි නිවටෙකු වාගේ
නිවන් සොයා වල්වැද යමි සැණකෙළි ලබමින්"
අවසන මෙසේ කියමින් කුඩ මස්සකු සේ අනන්ත සයුරේ අප තනිකරදමා ඔහු පිටත් විය.

තනිකම වැළපේ. එනමුදු ඔබට නොපෙනේ.

මගේ මුළු හද පාළු හේනකි - කාට මේ දුක කියම්දෝ???

දුකට මුල ආදරය යනබව නොදත්තෙමි නාරදයෙනි....!!!

"දෛවය එක ලෙසයි කාටත් එළඹෙන්නේ
එය කිසිවිටක නැත කිසි තැන පැකිළෙන්නේ
බියකරු රෝගයක සළකුණු පවසන්නේ
අපිහැම තනිඋනා නාරද නැත එන්නේ"

මේ භවයෙදි මුළු දියදායේ - උපදිනු මැන මෙහි ඔබ ආයේ !!!!

7 comments:

  1. මරණය අප කාටත් උරුමයිනෙ....මේ වගේ කෙනෙක් නැති වුනු එකට මටත් ඇත්තටම කණගාටුයි

    ReplyDelete
  2. හ්ම්ම්.. ඒකත් එහෙම උනාද? අද පන්සල් ගිහින් මරණානුස්සතිය වඩපු නිසා උපෙක්ෂාවෙන් බලන්න උත්සාහ කරනවා. නමුත් මෙවන් කලා කරුවකු සදා අමරණීයයි.. ඔබේ සටහන ඒ අමරණීයත්වය තීව්‍ර කරවනවා.

    ReplyDelete
  3. කමෙන්ට් කරන්න අමාරුයිනෙ. මොකද මන්දා.. දාන කමෙන්ට් නැවත බලද්දි නෑ. පස්සෙ ඇවිත් ලියන්නම්. බලමු මේකත් දාලා

    ReplyDelete
  4. අසව් අසව් කොයි කාටත් රස පණිවිඩයක් කියා
    රැන ගිරවු කුඹුර උඩින් මල් මල් ගමනක් ගියා....

    එ හඬ නිහඬ වුන බව මා දැනගත්තෙ ඔබෙ වියුණු සටහනෙන්..

    ReplyDelete
  5. @හසිත ජයසූරිය,
    අපේ කලා කෙත පෝෂණය කරපු අප්‍රමාණ මිනිස්සු නැති වෙලා යනකොට ඒ සඳහා තවත් අය බිහිවෙන්න ඕනෙ. නැත්නම් කෙත පුරන් වේවි. අපෙ ළමයින්ට මන්ද පෝෂණය හැදේවි. කණගාටු වීමෙන් පමණක් නොනැවතී අපිත් ඒ කෙතට අපේ දහදිය මුගුරු වට්ටමු මල්ලි.

    @ nethu,
    ඒකනෙ අක්කෙ, බලන්නකො. මොනව කරන්නද දුක තමා. ඒත් ඉතින් ලෝක ස්වභාවය නොවැ.
    කමෙන්ට් වල අවුලක් මට පෙනුණෙ නෑනෙ. බලමු ආයෙ.

    @රවා,
    ඔව් මල්ලි. මාත් දැනගත්තෙ හවස මූණු පොතෙන්. ඊට පස්සෙ කලපනා කරල කරල මතකෙට ආපු ගීත ටික එක්කාසු කොරල ලියල දැම්ම.
    ඔතන තියෙන ඔක්කොම එයාගෙ ගීත. කීයක් තියෙනවද ඒ මොනවද කියල පුළුවන්නම් හොයා ගන්නකො බලන්න. මං හිතන්නෙ ඔයාගෙ වයසට කිට්ටු ගාණක් තියෙනව!!!

    ReplyDelete
  6. අපෙන් සමුගෙන යන යෝධ කලාකරුවාණෙනී ඔබට නිවන් සුව පතමු.
    ඔබේ හඬ සදා රැව් දෙනු ඇත. රැව් දේවා!

    ReplyDelete
  7. @ගල්මල්,
    ඔව් අපි ප්‍රාර්ථනා කරනගමන් ඒවා රැක ගන්න කටයුතු කරමු.

    ReplyDelete